දෘෂ්‍ය දේශනා / Video

කෙටි ලිපි / Dhamma Notes



හිරවුන චක්‍රය

භාග්‍යවතුන් වහන්සේ විශ්වය පිළිබදවත්, එහි විනාශය පිළිබවත්, සත්වයාගේ වංශකථාව පිළිබවත් දේශනා කරමින්, සකස් වූ ධර්මයන් සියල්ලෙහි අනිත්‍යතාව මැනවින් දේශනා කර ඇත. අප සංසාර චක්‍රයක හිරවී ඇත්තේ යථාර්ථය නොදන්නා නිසාය.
සිඛී බුදුපියාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා වූයේ අභිභු සහ සම්භව රහතන් වහන්සේලාය. ඉන් අභිභූ රහතන් වහන්සේ බ්‍රහ්ම ලෝකයට වැඩමකර ධර්ම දේශනා කරන විට, බ්‍රහ්මයන් ‘බුදු රජාණන් වහන්සේ ජීවමානව ඇති කල් හි අපට ශ්‍රාවකයෙක් ධර්ම දේශනා කරනව කියා නොසතුට පළකරන ලදි. සිඛී බුදුපියාණන් වහන්සේ එවිට අභීභූ භික්ෂුවට පාතිහාර්ය පාමින් ධර්ම දේශනා කරන ලෙස උපදෙස් දෙන ලදි. ඉන්පසු අභීභූ රහතන් වහන්සේ නොයෙකුත් පාතිහාර්ය සහිතව බ්‍රහ්මයන් සංවේගයට පත්කරමින් සහස්සී ලෝකධාතුවට හෙවත් චූලනිකා ලෝකධාතුවටම ඇසෙන සේ ධර්මය දේශනා කරන ලදි. එහි දී දේශනා කරන ලද ගාථා දෙකක් මෙහි දැක්වේ.
“ආරභථ නික්ඛමථ - යුඤ්ජථ බුද්ධසාසනේ
ධුනාථ මච්චුනෝ සේනං - නළාගාරංව කුඤ්ජරෝ
ආරම්භවීර්ය කරවු, නෙක්ඛම්ම වීර්ය කරවු, බුදුසසුනෙහි යෙදෙවු, ඇතෙක් බටදඩු ගෙයක් වනසන්නාක් මෙන් මරසෙනඟ නසවු.
“යෝ ඉමස්මිං ධම්මවිනයෙ - අප්පමත්තො විහෙස්සති
පහාය ජාතිසංසාරං- දුක්ඛස්සන්තං කරිස්සති
යමෙක් ධර්මවිනයෙ අප්‍රමාදව වෙසෙන්නේ ද ඔහු ජාතිය හා සංසාරය දුරු කොට දුක් කෙළවර කරන්නේය.
(අරුණවතී සූත්‍රය-ස.නි-බු.ජ 1-278)

ලෝක ධාතු
පසු අවස්ථාවක දී ආනන්ද හිමියන් විසින් කොතරම් ලෝක ධාතු ප්‍රමාණයකට භාග්‍යවතුන් වහන්සේට ධර්ම දේශනා කිරීමේ හැකියාව තිබේද? යන්න පිළිබ විමසූ විට, ගෞතම භාග්‍යවතුන් වහන්සේගෙන් පිළිතුරු වශයෙන් ලැබුනේ “අසීමිතයි යන්නයි. එහිදී ලෝක ධාතු පිළිබද විස්තරයක් බුදුපියාණන් වහන්සේ මෙසේ දේශනා කර ඇත.
·         එක් ඉරක් සහ හක් යටතේ ඇති සතර අපාය, මනුෂ්‍ය ලෝකය,දිව්‍ය ලෝක හය සහ බ්‍රහ්ම ලෝක විස්ස ඇතුලත් තිස් එක් තලය එක් සක්වලකි. මෙවැනි සක්වලවල් අප්‍රමාණය. අප වෙසෙන සක්වලට මගුල් සක්වල යැයි කියනු ලැබේ.
·         මෙවැනි සක්වලවල් දහසක් (1000) චූලනිකා හෙවත් සහස්සී ලෝක ධාතුවයි.
·         චූලනිකා හෙවත් සහස්සී ලෝක ධාතු දහසක්(1000) හෙවත් සක්වලවල් ලක්ෂ දහයක්(1000 000) ද්විසහස්සී හෙවත් මජ්ඣිමා ලෝක ධාතුවයි.
·         ද්විසහස්සී හෙවත් මජ්ඣිමා ලෝක ධාතු දහසක්(1000) හෙවත් සක්වලවල් කොටි ලක්ෂයක් (10^12) තිසහස්සී හෙවත් මහාසහස්සී ලෝක ධාතුවයි. බුද්ධ ආඥා ක්ෂේත්‍රය වන්නේ මෙම කෝටි ලක්ෂයක් සක්වල වේ.
භාග්‍යවතුන් වහන්සේ මහා සහස්සී ලෝක ධාතුවටත්, අවශ්‍ය නම් ඉන් එහාටත් තම අණසක පැතිරවිය හැකි බවට ආනන්ද හිමියන් ඉදිරියේදී සිංහ නාද කරන ලදි. මෙහිදී ආනන්ද හිමියන් මහත් ප්‍රීතිප්‍රමාදයකට පත්වී, තමන් උපස්ථාන කරන ශාස්තෘන් වහන්සේගේ ශක්තිය පිළිබද ප්‍රීතිඝෝෂා කරන ලදි. (අ.නි-බු.ජ1-403)
කල්පය
කල්පයක් යන්න මෙතරම් ප්‍රමාණයක් ලෙස කාලයක් නිර්ණය කළ නොහැක. කල්පය තේරුම් ගැනීමට භාග්‍යවතුන් වහන්සේ උපමා කීපයක් දේශනා කර ඇත.
·         යොදුනක් (සැතපුම් 16ක් පමණ) දිග පළල උස කලු ගලක් වසර සියයකට එක් වතාව බැගින් පිස දමන්නේ නම්, ඒ පර්වතය සම්පුර්ණයෙන් ම ගෙවෙන කාලයක් වේද, එනමුත් කල්පය ඉවර නොවේ. (පබ්බත සූත්‍රය - ස.නි-බුජ2-280)
·         යොදුනක් (සැතපුම් 16ක් පමණ) දිග පළල උස පෙට්ටියකට අබ පුරවා වසර සියයකට එක් අබ ඇටය බැගින් ඉවත් කර අබ සිදුනේද, එනමුත් කල්පය ඉවර නොවේ. (සාසප සූත්‍රය - ස.නි-බුජ2-282)
කල්පයෙන් හතරෙන් එක් කොටසක් අසංඛ්‍ය කල්පයක් ලෙස හදුන්වයි.  ඊට අන්තර් කල්ප හැට හතරක්(64) ඇති බව කියවේ. එනම් කල්පයකට අන්තර් කල්ප දෙසිය පනස් හයක් 256 (64x4)ක් ඇත. මිනිසාගේ ආයුෂ අවු 10ට අඩු වී නැවත ආයුෂ අසංඛ්‍ය - එකයි බිංදු එකසිය හතලිහක් (10^140) දක්වා වැඩි වී නැවත අවු 10 දක්වා ආයුෂ අඩු වේ. අන්තර් කල්පයක් යනු මෙසේ අවු 10 සිට අසංඛ්‍යෙ දක්වා වැඩි වී නැවත අවු 10 දක්වා අයුෂ අඩුවන කාලයයි.  
කල්පයක් තුළ බුදුවරු එක් නමක් පහළ වන්නේ නම් එය සාර කල්පයක් ලෙසද, දෙදෙනෙකු නම් මණ්ඩ කල්පයක් ලෙසද, තිදෙනෙක් නම් වර කල්පයක් ලෙසද, සතර නමක් නම් සාරමණ්ඩ කල්පයක් ලෙසද, බුදුවරු පස්නමක් නම් භද්‍ර කල්පයක් ලෙසද හැදින්වේ. බුදුවරු පහළ නොවන කල්ප බුද්ධ ශූන්‍ය කල්ප ලෙස හැදින්වේ. ගෞතම බුදුපියාණන් වහන්සේ  සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් හෙවත් අසංඛ්‍ය හතරකුත් තව කල්ප ලක්ෂයක් (10^140 x4 + 100 000)පාරමී පුරන ලදි.
සක්වල ඇතිවීම
අප වෙසෙන මගුල් සක්වලේ තිස්එක් තලයෙන් බ්‍රහ්මලෝක දාහතක් ඉතිරි වී අනෙක් කෝටි ලක්ෂයක් සක්වල කල්පයක් අවසානයේදී  විනාශ වේ. කල්ප විනාශයෙන් පසු මෙම කෝටි ලක්ෂයක් සක්වලටම වර්ෂාවක් පතිත වේ. එහි ශුද්ධාෂ්ඨක අඩංගුය. ඒ තුළින් නැවත පෘතුවිය ඇතුලු සියල්ල නැවත හටගනී. බුද්ධගයා භූමිය කෝටි ලක්ෂයක් සක්වලෙහි කේන්ද්‍රයයි. මේවා කවුරුත් මවන ඒවා නොවේ. ස්වභාව ධර්මයේ ක්‍රියාවලියකි. මුලින්ම පෘතුවියට ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් බ්‍රහ්මයන් පැමිණ තමන්ගේ කයෙන් ආලෝක විහිදුවා අහසින් ගමන් කරයි. එහි දී පෘතුවියේ ඇති රසයට ලොල් වන බ්‍රහ්මයන්ට කාමය ඉපදී ශරීර ඝණවී ආලෝක පහව යයි. ඉන් පසු ඉර හද තාරකා ඇති වේ. දැන් බ්‍රහ්මයන් නොව ඔවුන් මිනිසුන්ය. එම මිනිසුන්ගේ මානය උග්‍ර වේ. කෙලෙස් වැඩිවන විට රස පොළොව අතුරුදහන් වේ. පසුව භූමිපර්පටකය (හතු වර්ගයක්) පහළ වේ. එවා ආහාරයට ගන්නා විට තවත් කය රළු වී මානඅතිමාන ඇතිවී කෙලෙස් වැඩි වේ. ඉන්පසු එම හතු වර්ගයද අතුරුදහන් වේ. පසුව බදාලතා නැමති වැල් වර්ගයක් ආහාරයක් ලෙස පහළ වේ. එයද අනුභව කරන මිනිසුන් තව තවත් කෙලෙස් වැඩිකර ගනී. පසුව බදාලතාවත් අතුරුදහන් වේ. පසුව දහයියා නැති හැල් වී පහළ වේ. එවා ආහාරයට ගන්නා මිනිසුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය පහළ වේ. ඉන් පසු කාමසේවනය පටන් ගනී. ඊට සමාජය ගරහන නිසා කාම සේවනය සහා ගෙවල් සාදා ගනී. උදේ කුඹුරට ගොස් සවසටත් එක්ක හැල් කපාගෙන එයි. මෙසේ රැස්කිරීම ආරම්භ කරයි. දැන් හැල් කැපූ පසු නැවත හට නොගනී. දහයියා සහිතය. තමන්ගේ කොටස් වෙන් කරමින් පසුව ඉඩම් බෙදා ගනී. ඉන් පසු අනුන්ගේ දේ සොරකම් කරයි. සොරකම් කර බොරු ද කියයි. ප්‍රාණඝාතය පවා කරයි. මෙලෙස කෙලෙස් වැඩි වේ. අසංඛ්‍ය ආයුෂ ක්‍රමයෙන් අඩු වේ. ක්ෂත්‍රිය,බ්‍රාහ්මණ,වෛශ්‍යය,ශුද්‍ර යන කුල ඇතිවිය. (අග්ගඤඤ සූත්‍රය-දී.නී-බුජ3-136)
මෙලෙස කෙලෙස් වැඩිවෙමින් යන මිනිසාගේ ආයුෂ අවු 10 දක්වා අඩු වේ. ඉන් පසු සත්වයන් විශල ප්‍රමාණයක් විනාශ වේ. සීමිත පිරිසක් සීලය තුළ පිහිටයි.ඔවුන්ගේ ආයුෂ නැවත අසංඛ්‍ය දක්වා වැඩි වේ. මෙලෙස සත්ව විනාශයන් සිදුවීම අන්තර් කල්ප විනාශයයි.
කල්ප විනාශය
මහාකල්ප විනාශයේ දී මුලින්ම වර්ෂ දස දහස් ගණනක් වර්ෂාව නැති වී සියලු ගස් කොළන් වියලී යයි. සත්වයන් මිය යයි. පසුව වර්ෂ ගණනාවකට පසු දෙවන සූර්යා පහළ වෙයි. කුඩා නදී විල් ආදිය සිදී යයි. තවත් කාලයක් ඇවැමෙන් තුන්වන සූර්යා පහළ වෙයි. ගංා,යමුනා වැනි ගංා සිදී යයි. දීර්ඝ කාලයක් ඇවෑමෙන් සිව්වන සුර්යා පහළ වෙයි. අනවතප්ත, සිංහප්‍රපාත යන මහ විල් සිදී යයි. පසුව පස්වන සුර්යා පහළ වෙයි. මහා සමුද්‍රයේ ජලය හරකුන්ගේ පාද සලකුණු මත රැස්වූ  ජලය මෙන් ස්වල්ප වන්නේය. පසුව එයත් සිදී යන්නේය. ඉන් පසුව හයවෙනි සුර්යා පහළ වෙයි. කෝටි ලක්ෂයක් සක්වල එකම දුමාරයකි. වලං පෝරණුවක් මෙනි. තවත් දීර්ග කාලයකට පසු සත්වන සූර්යා පහළ වෙයි. එහි දී කෝටි ලක්ෂයක් සක්වල කපුරු මෙන් ගිනිගෙන දැවී යන්නේය. අප සක්වලේ ඇති බ්‍රහ්ම ලෝක විස්සෙන් දාහතක් ඉතිරි වන්නේය. ඒවායේ මියගිය සත්වයන් උපදියි. නිරයේ සතුන්ගේත් අපරාපරියවේදනීය කර්ම මේ වේලාවේදී විපාක දෙයි. නියත මිත්‍යා දෘෂ්ඨික සත්වයන් කෝටි ලක්ෂයක් සක්වලෙන් එහා ඇති නිරයන් හි ඉපදෙයි. (සත්තසුරියුග්ගමන සූත්‍රය-අ.නි-බුජ4-426)
මෙලෙස හටගත් සියල්ල විනාශ වේ. සංසාරයේ මහා දීර්ග ගමනක් අවිද්‍යාව නිසාත් තෘෂ්ණාව නිසාත් ගමන් කරයි. ඇත්තේ එකම ස්වභාවික චක්‍රයකි. අප කණුවක බැද තබා ඇති බලු කුක්කකු වැනිය. මෙලෙස සංසාරයේ යාමෙන් සිදුවන්නේ දුකට පත්වීම පමණි. වහාම මින් අත්මිදීමට වීර්ය වඩමු.

පූජ්‍ය මැල්සිරිපුර ධම්මකුසල හිමි
ආර්ය නිකේතනය
කන්නිමහර-වතුරුගම.

කොහේද මේ යන්නේ?

හිමිදිරි උදයේ අවදිවෙලා හැමෝම මහ යුද්ධයක. සමහරු දත් මදිනවා මූණ සෝදනවා. සමහරු උයනවා කෑම පිළියල කරනවා. සමහරු වැසිකිලියේ.සමහරු රෙදි මදිනවා. ළමයි ඉස්කොලෙ වැඩ ඉවර කරගන්න බැරුව දගලනවා. වැඩට යන්න ඉස්කෝලෙ යන්න වාහන ඇවිල්ලා නලා නාද කරනවා. කට්ටිය කෑගහගෙන එහෙ දුවනවා මෙහෙ දුවනවා. ඔය අතරෙ ගුවන් විදුලියෙ රූපවාහිනියෙ යන බණ පිරිත් ආදියත් ඇහෙනවා. 

කඩිමුඩියේ බත් කටක් දෙකක් කාලා හරි බඩගින්නේ හරි තම තමන්ගේ වැඩ වලට පිටත් වෙනවා. සමහර දේවල් අමතක වෙනවා. ආයි ආපසු එනවා. වාහන වල යනකොට මාර්ග තදබදය අහුවෙනවා. බස්වල කෝච්චිවල තෙරපෙනවා. තරහ යනවා. වෙලාවට යන්න බැරිවෙයි කියලා බය වෙනවා. ඉගෙන ගන්න අය පොත් කියවනවා ලියනවා. වැඩකරන අය ලිපිලේඛන වල පරිගනක අස්සෙ හිර වෙලා ආයතනයේ ප්‍රශ්න වලට උත්තර හොයනවා. තවත් අය දහඩිය දාගෙන වැඩ කරනවා. ප්‍රධානීන්ගෙන් බැනුම් අහනවා. ප්‍රධානීන්ට හොරෙන් බනිනවා. ඔතාගෙන ආපු දේ කාලා වැඩ කරනවා. වැඩ ඇරිලා මල්ලකට කන්න ඕන දේ ගන්නවා. පඩිය ගත්තා. ඒත් ඔක්කොම ඉවරයි. ගෙදර ඇවිත් ආයි උයනවා. ඊලග දවසට සූදානම් වෙනවා. ප්‍රශ්න කෝටියක් තියනවා.ඔලුව හරි බරයි. හොදටම හෙම්බත් වෙලා ඇදට වැටිලා නිදාගන්නවා. රැකියාවක යනහරි අධ්‍යාපනය ලබනහරි කෙනෙකුගෙ ජීවිතය මෙහෙමයි.

හේනෙ කුඹුරේ ගොවිතැන් කරන අයෙක් නම් තම කය වෙහෙසවලා වැඩ කරලා අස්වැන්න රැක ගන්න මහන්සි වෙනවා. වහීද පායයිද කියලා බය වෙනවා. සතා සිව්පාවන්ගෙන් කරදර වෙනවා. කොහොම වුනත් අන්තිම පාඩු වෙනවා. ලාභයක් නම් කලාතුරකින්. ණයබර හොදටෝම. හැමදාම ප්‍රශ්න ඉවරයක් නෑ. 

කොහෙද මේ යන්නේ?මොකක්ද මේ කරන්නේ? ඇයි මේවා කරන්නේ? කියලා ඇහුවෙත් ඔබගේ පිළිතුර වන්නේ බෝහෝවිට ජීවිතය කියන්නේ මේක තමයි කියාය. ඔබේ ජීවිතයේ බලාපොරොත්තු වන්නේ හොදින් සල්ලි හම්බකරන්න, හොද වාහනයක් ගන්න,හොද ගෙයක් හදාගන්න, හොද පවුල් ජීවිතයක් ගතකරන්න, ලාභ කීර්ති ප්‍රසංසා ලබාගෙන සැපවත් ජීවිතයක් ගතකරන්න නේද?. මෙච්චර දුක් විදින්නේ ඒ සදහායි. නමුත් හැමදාමත් අතෘප්තියෙන් ඉවරයක් නැතිව දගලන එක මුලාවක්. බොරුවක්. විදීම් ගොඩක් පමණයි.

නමුත් ජීවිතයේ සැප සොයා යන තවත් පැතිඩක් ඇත. එම සැපය ඇත්තේ ඉහතකී ලෞකික අරමුණු පදනම් කරගත් ජීවිතයක් තුළ නොවේ. එම ජීවිත පැවැත්මෙන් ඔබ්බට ගියා වූ ලෝකෝතතර නිර්වානය තුළයි. සාමාන්‍ය ජීවිතය දුකක් බව අවබෝධකරගත් තැනැත්තා සුවිශේෂ ජීවිතයක් තුළට ගමන් කරයි. ඔහු  කැලයකට,ගසක් මුලකට හෝ ශුන්‍යාගාරයකට ගමන් කරයි. එහි තැන්පත් වේ. ඒ මොහොතේ ඔහු ගෙදර දොර කටයුතු,රැකියා කටයුතු තමන්ගේ පවුල, සම්පත් ආදිය සියල්ල අතහැර දමා ඇත. ඒම නිසා හිතේ කයේ දැවෙන ගති මගහැරී ඇත. පුදුම සැහැල්ලුවකි. 

සදහටම ගිහිගෙයින් අයින් වූ  භික්ෂුවක් නම්, ලැබුන ආහාරය නො ඇලී වළදයි. ආහාර සෙවීමේ තරගයක් නැත. නැවත ආහාර නොලැබුණහොත් අපවත්වන්නට සූදානම්ය. ලැබුන චීවරය නො ඇලී පොරවයි. චීවරයක් නොලැබුනොත් මළ මිනියක් ඔතාදමන පාංශුකූල රෙදිකඩින් සිවුර සකසා ගනී. 

ඇදුම් පැළදුම් පස්සේ දුවන්නේ නැත. ලැබුන කුටියක නො ඇලී වාසය කරයි. කුටියක් නොලැබුනොත් ගසක් මුලක වාසය කරයි. ‍රෝගයකට බෙහෙත් ලැබුනොත් වළදයි. නැතිනම් තමන්ගේම මුත්‍රා බෙහෙත් වශයෙන් ගනී. එම භික්ෂුවට දුවන්න තැනක් නැත. අත්පත් කරගන්න දෙයක් නැත. කථාකරන්න දෙයක් නැත. කිසිවකට හදිසියක් නැත. ‍පෝෂණය කරන්න අඹු දරුවන් නැත. මැරුණ අතීතය ගැන කනස්සල්ලක් නැත. අනාගතයේ දකින සිහින නැත. වර්තමානය තුළ එයද අතහරිමින් ජීවත් වේ. දැන් සිතේ බර අඩු වී ඇත. අතහැර දමන ලද ජීවිතයකි. නමුත් ශේෂ්ඨ ජීවිතයකි.

එසේ හුදකලාව තැන්පත් වීමත් සමගම කායික ක්‍රියා නැවතී ඇත. වාචික ක්‍රියා නැවතී ඇත. එනම් ප්‍රණඝාතය, අදත්තාදානය, කාමමිච්ඡාචාරය, මුසාවාදය, පිසුනාවාචය, පරුසාවාචය, සම්ප්‍රප්පලාපය නොමැත. කය සංවරය වචනය සංවරය. දැන් මන සංවර කරගත යුතුය. එනම් අභිජ්ඣා ව්‍යාපාද මිත්‍යාදිට්ඨියෙන් ඉවත් වීමට සම්මා අරමුණක් තෝරාගත යුතුය. ඒ සදහා ඇලෙන්නේ නැති ගැටෙන්නේ නැති අරමුණක් තුළ සිහිය පැවැත්විය යුතුය. ආශ්වාසය ප්‍රශ්වාසය හොද අරමුණකි. තවත් එවැනි අරමුණු ඇත. 

දැන් තමන්ට ප්‍රශ්නය ඇත්තේ ආශ්වාසය ප්‍රශ්වාසය තුළ සිහිය පැවැත්වීමයි. අනෙක් සියළු ම අරමුණු අතහැරී ඇත. ආශ්වාසය ප්‍රශ්වාසය දිගද කෙටිද සංසිදිලාද යන්න හොදින් දකින විට හිත තැම්පත් වේ.සමාධිගත වේ. සමාධිගත වූ සිතේ නිවන අහුරන ධර්මතා හෙවත් පංච නීවරණ යටපත් වේ. දැන් පළමු දෙවන තෙවන සිව්වන ධ්‍යාන දක්වා සමාධිය නංවාගෙන උපේක්ෂාවක් ඇතිකරගනී. එම උපෙක්ෂාවේ ශක්තිය යොදාගෙන රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධයා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනාත්මකව දකින විට සත්තිස් බෝධිපාර්ෂික ධර්ම වැඩෙන්නට පටන් ගනී. විදර්ශනා ඤාණ පහල වේ.

සිත ජීවත් කරවන ආහාර සතර (කබලිංකාර,ඵස්ස,මනෝසඤ්චේතනා,විඤ්ඤාණ) නැති වේ. මොහොතකට හෝ සිත මිය යයි. සිත මියගිය තැන රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධයා නොමැත. ජීවත් වීමට ආයුෂය ඇති බැවින් නැවත සිතට පන ලැබේ. නැවත පන ලැබුන සිත සමාධිමත්ය. එයට මාර්ග ඵල සමාපත්තිය කියයි.  ඒ අනුව පිළිවෙලින් සෝවාන්,සකදාගාමී,අනාගාමී අරහත් යන මර්ග ඵල තම තමන්ගේ ශක්තිය අනුව ඇතිකරගනී. නිවන සාක්ෂාත් කරගෙන ඇත්තේ බුදු පසේබුදු මහරහතන් වහන්සේලාය. අනෙකුත් මාර්ගඵල ලාභීන්ට නැවත ඉපදීමක් ඇත. ඔවුන්ට තවම දුක උරුමය. 

රහතන් වහන්සේගේ සිත ආශ්‍රව රහිතය. එනම් අනාශ්‍රව චිත්තයකින් කටයුතු කරයි. එනම් සෝපදිශේෂ නිර්වානය හෙවත් කෙලෙස්වලින් මිදී ඇති සිතකි. උපාදානය නොවූ සිතකි. ආයුෂය කෙලවර වන තෙක් සංඛාර නොවූ සිතක් තුළ විඤ්ඤාණය බැසගෙන ඇත. ආයුෂ කෙවර වූ පසු කය ද අතහරින විට අනුපදිශේෂ නිර්වානය සිදුවේ. එහි දී සියලූ ම ධාතු වලින් මිදේ. නැවත ඉපදීමක් නැත. දුක අවසන්ය. එය සියල්ලන්ගෙන්ම මිදී පරම සැපයට පැමිණීමය. මේ ආකාරයෙන් නිර්වාණය සාක්ෂාත් කරගැනීම ප්‍රඤ්ඤා විමුක්ත ක්‍රමයයි.

එමෙන්ම රූපාවචර ධ්‍යාන, අරූපාවචර ධ්‍යාන යන අෂ්ඨ සමාපත්ති උපදවාගෙන ද විමුක්තිය ලැබිය හැකිය. එහිදී සතරවන ධ්‍යානයෙන් පසු අනන්ත ආකාසය, අනන්ත විඤ්ඤාණය, සංඥාවක් නැති බව, සංඥාවක් ඇත්තෙත් නැති නැත්තෙත් නැති බව අල්ලාගෙන අරූප ධ්‍යාන උපදවා ගනී. නෙවසඤ්ඤා නාසඤ්ඤායතනයේ දී සංඥාව ඉතා සියුම්ය. 

එම සංඥාවත් නිරුද්ධ වුවහොත් සංඥා වේදයිත නිරෝධයට හෙවත් නිරෝධ සමාපත්තියට පත්වේ. ප්‍රථමයෙන් වචී සංඛාර(විතක්ක විචාර) දෙවනුව කාය සංඛාර(ආශ්වාස ප්‍රශ්වාස) තෙවනුව චිත්ත සංඛාර(සංඥා වේදනා) නිරුද්ධ වේ. නිරෝධ සමාපත්තිය නිවන නොවේ. එය සංඛත ධර්මයකි. ලෝකය තුළ ලැබෙන ශේෂ්ඨ චිත්ත පාරිශුද්ධියකි. නිවන ලෝකෝත්තරය. අසංඛතය. ආකිඤ්චඤ්ඤායතනයේදී ඉපදවූ ශූන්‍යතාව අනිත්‍ය වශයෙන් නුවණින් දකින විට අනිමිත්ත චේතෝ විමුක්තිය තුළින් නිර්වානය, එම ශුන්‍යතාවය දුක්ඛ වශයෙන් නුවණින් දකින විට අප්පණීහිත චේතෝ විමුක්තිය තුළින් නිර්වානය, එම ශුන්‍යතාව අනාත්ම වශයෙන් නුවණින් දකින විට ශුන්‍යතා චේතෝ විමුක්තිය තුළින් නිර්වාණය සාක්ෂාත් කරගත හැකිය. මෙසේ නිවන සාක්ෂාත් කිරීම උභතෝභාග විමුක්ක ක්‍රමයයි.

ධ්‍යාන වලට අගයක් නොදී ත්‍රිලක්ෂණය වඩමින් ශුෂ්ක විදර්ශකයාට ද නිවන සාක්ෂාත් කරගත හැකිය. ඔහුට ධ්‍යාන ඇති වුවත් ඒවායේ නො ඇලේ. 

නිරෝධ සමාපත්තියට යන අයෙකුට සංඥා වේදනා (චිත්ත සංඛාර) වල දැනීමද නැත.   ජීවත්වන රහතන්වහන්සේ නමක් සංඥා වේදනා (චිත්ත සංඛාර) දැනගෙන ඒවාට නොඇලී අනාශ්‍රව චිත්තයකින් ජීවත්වේ. ලෝකය අතහැරීමෙන් ලබන සැපය මෙයයි. 

ගිහි ගෙය තුළ වාසය කරන ඔබටත් මෙම ශේෂ්ඨ ගමන යම් ප්‍රමාණයකට හෝ යා හැකිය. කල යුත්තේ හුදකලා වීමය. ටික දවසකට හෝ බුදුපියාණන් වහන්සේ දේශනා කළ පරිදි නිවැරදිව කමටහන් ලබාගෙන භාවනා කිරීමට කැලයකට, ගසක් මුලකට හෝ ශුන්‍යාගාරයකට යන්න. ඔබ ලබාගත් මනුෂ්‍ය ආත්මයේ බහුතරයකට විය නොහැකි විශිෂ්ඨයකු වීමට හැකියාව ඔබටත් ලැබෙනු ඇත.

පුජ්‍ය මැල්සිරිපුර ධම්මකුසල හිමි
 ආර්ය නිකේතනය,
 කන්නිමහර-වතුරුගම.  

තුඹස සාරන්න

අන්ධ වනයේ රාත්‍රී කාලයේ භාවනා කරන කුමාර කාශ්‍යප තෙරණුවන් සමීපයට ආලෝකය පතුරවමින් පැමිණ එක්තරා බ්‍රහ්මරාජයෙකුගේ ප්‍රකාශයක් ආශ්‍රයන්, බඹයක් පමණ උසට ඇති ජීවන පැවැත්ම හෙවත් ලෝකය නැමති තුඹස සාරා එය අවබෝධ කරගන්නා ආකාරය මනා උපමා උපමේය සහිතව මජ්ඣිම නිකායේ එන වම්මික සූත්‍රයේ විස්තර කරයි. වම්මික යනු තුඹසයි.
 
“මහණ,මහණ රාත්‍රියේ දුම්දමන දහවලේ ගිනිගන්නා තුඹසක් ඇත. බ්‍රාහ්මණයෙක් මෙසේ කියයි. ‘සුමේධය, මෙම තුඹස ආයුධයක් ගෙන සාරව. එසේ සාරන්නා වූ තොප හට පිළිවලින් දොර අගුලක්, පුම්බන වර්ගයේ මැඩියෙක්, දෙමන් සංන්ධියක්, අළු පෙරහනක්, ඉදිබුවෙක්, මස්කපන කැත්තක් සහ මස් ලොබූවක්, මස් වැදැල්ලක් හමුවේවි. ඒ සියල්ලම ගොඩදමා, අවසානයේ හමුවන නාගයා නැගිටුවා නමස්කාර කරව”.  

භාග්‍යවතුන් වහන්සේ යම් ආකාරයකින් මෙහි අර්ථය පැහැදිළි කරයිද ඒ ආකාරයෙන්ම පිළිගන්නා ලෙස කුමාර කාශ්‍යප තෙරණුවන්ට දන්වමින්, නැවත බ්‍රහ්මරාජයා බ්‍රහ්ම ලෝකයට වැඩමකරන ලදි.
පසුව තථාගතයන් වහන්සේ ඉහත උපමා මෙසේ සවිස්තරව වදාල සේක.


තුඹස යනු සතරමහ ධාතුන්ගෙන් සෑදුන මව පියා නිසා පහළවුන ආහාරයෙන් පෝෂණය වන වෙනස්වන්නා වූ තමන්ගේ කය හෙවත් රූපය වේ. රාත්‍රියේ දුම්දැමීම නම් හෙට කළ යුතුදේ රාත්‍රී කාලයේදී සිතීමයි.  දහවලේ ගිනිගැනීම නම් රාත්‍රියේ සැලසුම් කළ ලෙස දහවලේ වැඩකිරීමයි. බ්‍රාහ්මණයා යනු තථාගතයන් වහන්සේයි.

සුමේධ යනු ශේඛ පුද්ගලයායි. එනම් සෝවාන් මාර්ගස්ථයාගේ සිට රහත් මාර්ගස්ථයා දක්වා පුද්ගලයන් සත් දෙනාය. ආයුධය යනු ප්‍රඥාවයි. සාරව යනු විර්යයි. දොර අගුල යනු අවිද්‍යාවයි. පුම්බන වර්ගයේ මැඩියා යනු ක්‍රෝධ උපායාසයයි. දෙමන් සංන්ධිය යනු විචිකිච්ඡාවයි. අළු පෙරහන යනු පංච නීවරණයි. ඉදිබුවා යනු පංච උපාදානස්කන්ධයයි. මස්කපන කැත්ත සහ මස් ලොබූව යනු පංච කාමගුණයන් වේ. මස් වැදැල්ල යනු නන්දි රාගයයි. නාගයා යනු රහතන් වහන්සේය.

බුදුපියාණන් වහන්සේ දේශනා කලේ බඹයක් පමණ උසට ඇති මෙම කය මූලික කරගෙන ඇති ජීවිත පැවැත්ම හෙවත් ලෝකය විද (ලෝකවිදූ බුදුගුණය) එනම් ලෝකය සාරා බලා අයහපත් දේ ඉවත් කරමින් ඉදිරියට ගමන් කරන ලෙසයි. එනම් තමා තුළින්ම “පච්ඡත්තං වේදිතබ්බෝ” ලෝක විදූ නැමති බුදුගුණය දැකගෙන අසාර දුක්ඛිත ලෝකයෙන් අත මිදෙන ලෙසයි.  මෙය ධර්මය තුළින් බුදුන් දැකීමයි. 

එහිදී ඇතිවන්නේ ආකාරවතී සද්ධාවයි. මෙසේ ලෝකය අතහැර ලෝකෝත්තර නිවනට ගමන් කරන පුද්ගලයා ආර්ය පුද්ගලයකි. ඔහු  බුදුගුණ, දම්ගුණ, සඝ ගුණ දකිමින් මහත් සද්ධාවෙන් භාග්‍යවතුන් වහන්සේ නැමති බ්‍රාහ්මණයාගේ වචනය අනුව ගමන් කරන්නෙකි. සුමේධය නැමති ශේඛ පුද්ගලයා සාරන්නේ සතරමහ ධාතුන්ගෙන් සෑදූන තුඹසයි. මෙසේ සෑරීමට ආයුධයක් අවශ්‍යය. එය ප්‍රඥාවයි. “මෙම ධර්මය ප්‍රඥාවන්තයාටයි, මෝඩයාට නොවේ” ලෙස දේශනා කර ඇත්තේ මේ නිසාවෙනි. 

ආයුධය තිබුණත් සාරන්නේ නැත්නම් ඉන් පලක් නැත. සෑරීම යනු වීර්යයි. සිදුහත් තවුසාණන් වහන්සේ වජ්‍රාසනය මත තැම්පත් වී “මගේ මස් ලේ නහර වියලිලා ගියත් බුදුබව ලබාගෙන මිස මෙම ආසනයෙන් නොනැගිටිමි” ලෙස වීර්ය ගත්හ. එවැනි වීර්යයක් නොමැතිව ලෝකය නැමති තුඹස සෑරිය නොහැක. ටිකක් සාරා ‘දැන් ඇති පස්සෙ සාරනවා’ ලෙස සිතුවහොත් ඉන් කුසීතබව ඇතිවී, ප්‍රමාදය ඇතිවේ. ප්‍රමාදය සසර දික්කරන කරුණකි. තමන්ගේ ජීවන පැවැත්ම තුළ රාත්‍රියේදී ඊලග දවසේ උයන්න, පිහන්න, වැඩට යන්න, සහ අනෙකුත් කටයුතු ආදි කටයුතු දුම් දමනවා ලෙස සැලසුම් කරනවාද බලන්න. මෙම සියළු සැලසුම් දවල් කාලයේදී ගිනිගන්නවාක් මෙන් ක්‍රියාත්මක කරනවා. යථාර්ථය අවබෝධ කරගැනීමට සෑරිය යුත්තේ මෙම තුඹස ම යි. දැන් ඉතින් සාරන්න.

දැන් අවිද්‍යාව නැමති දොර අගුලක් හමුවෙනවා. අදුරෙන් එළිය දැකගන්න බැරි මෙම දොර ඇරගන්න බැරි නිසා. සත්‍ය සත්‍ය වශයෙන් පිළිනොගැනීම තමයි දොර අගුල. එනම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අවිද්‍යාවෙන් මිදිය හැකිය. එනම් සත්‍ය වූ දුක, දුක වශයෙන් දකින පුද්ගලයා දොර අගුල ඉවත් කරයි. 

දැන් ක්‍රෝධ උපායාසය නැමති පුම්බන වර්ගයේ මැඩියා හමුවෙනවා. ඇයි ක්‍රෝධකරන්නේ. තමන් සිතපු විදියට කිසිවක් සිදුවන්නේ නැතිවුනහම කෝධ කරනවා. අප ජාති උනාට පස්සේ ජරා ව්‍යාධි වෙනකොට එය දරාගන්න බෑ. පෙර කය දැන් නෑ. හිස පැහිලා, හම රැලි වැටිලා, දත්වැටිලා දැන් ඉස්සර විදියට මොකුත් කරන්න බෑ. කොච්චර ආලේපන ගෑවත් වැඩක් නෑ. 

උපායාසයට පත්වීම ම යි සිදුවන්නේ. මේ නිසා  තමන් සමගත් අන් අය සමගත් කේන්තියෙන් ම යි ජීවත් වෙන්නේ. එමෙන්ම තමන් දැන් රැකියාවට යන්න කැමති නෑ. නමුත් හදාගත්ත ගෙවල් දොරවල් යාන වාහන අඹුදරුවන් ආදී සංස්කාර නිසා අකමැත්තෙන් වැඩපල කරයි. මෙහිදී ඇතිවන ක්‍රෝධය නිසාම උපායාසයකට පත්වේ. එය ක්‍රෝධෝපායාස ලෙස හැදින්වේ. හැමදාම පෙර විදියට ඉන්න බෑ. සියල්ල වෙනස්වෙනවා. සංස්කාර බිදෙනවා. මේ බව අවබෝධයෙන් ක්‍රෝධ උපායාසයෙන් මිදිය හැකිය. 

ප්‍රඥා ආයුධයෙන් තවත් සාරන විට විචිකිච්ඡාව නැමති දෙමං සන්ධියක් හමුවේ. දැන් කුමන පාරක යා යුතුද? යන ප්‍රශ්නය ඇතිවේ. බුදු පියාණන් වහන්සේ කෙරෙහි සද්ධාව ඇති කෙනා ආර්ය අෂ්ඨාංගික මාර්ගය ම තෝරා ගනී. එමෙන්ම එය නියමාකාරයෙන් භාවිත කරයි. තමා තුළින්ම දහම අවබෝධ වන විට මාර්ගය පිළිබද සැක නැතිවේ.

සැකහැර තවත් සාරන විට පංච නීවරණ නැමති අළු පෙරහන මතුවේ. නිවන අහුරන ධර්මතා පහ ඉවත් කළ යුතුය. එනම් කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථීනමිද්ධය, උද්ධච්ඡ කුක්කුච්ඡය, විචිකිච්ඡාව යන බාධකයන්ය. කාමච්ඡන්දය හෙවත් කාමයට ඇති කැමැත්ත නැති කිරීමට අසුභය ද, ව්‍යාපාදය හෙවත් තරහ නැති කීරීමට මෛත්‍රියද, ථීනමිද්ධය හෙවත් කම්මැලි උදාසීන නිදිමත ස්වභාවය නැති කිරීමට ආලෝකය වැඩීම හා වීර්යය ද, උද්ධච්ඡය හෙවත් සිතේ විසිරුන ස්වභාවය නැති කිරීමට සතිය ද, පසුතැවීම හෙවත් කුක්කුච්ඡය නැති කිරීමට ත් සතිය ද, චිචිකිච්ඡාව හෙවත් සැකය නැති කිරීමට සද්ධාවද ඇතිකරගෙන දියුණුකළ යුතුය. එවිට නීවරණ හෙවත් අළු පෙරහන උදුරා දැමිය හැකිය. 

තවත් තුඹස සාරන විට හමුවන්නේ ඉදිඹුවා නැමති පංච උපාදානස්කන්ධයයි. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ නැමති උපාදානස්කන්ධයන් ඉවත් කළ යුතුය. ආධ්‍යාත්මික සහ බාහිර රූප සතර මහ ධාතුන්ගෙන් සෑදුන නිතරම ඇතිවන නැතිවන, පෙණගොඩක් මෙන් හරයක් නොමැති දෙයක් ලෙස සලකා ඉවත් කළ හැකිය. වේදනා ත් (සුඛ, දුක්ඛ, අදුක්ඛමසුඛ) දියබුබුලක් ලෙස ඇතිවන නැතිවන දෙයක් සේ සලකා ඉවත් කළ හැකිය. සංඥා සියල්ල මිරිඟුවක් ලෙස සලකා මුලාවෙන් මිදිය හැකිය. 

සංස්කාර කෙසෙල් කඳක් මෙන් සෑදු දේම නැවත සාදා ඇති බවත්, එකිනෙක මත එතී ඇති කෙසෙල් පතුරු ගැලෙව්වාට පසු ඉතිරිවන දෙයක් නොමැති බව අවබෝධයෙන් ඉන් මිදිය හැකිය. එමෙන්ම විඤ්ඤාණය මායාවක්  වැනි දෙයක් බවත්, එයද ධාතුවක් බවත්, සත්‍ය වශයෙන් නැති දේවල් ඇති වශයෙන් පෙන්වන බවත් අවබෝධයෙන්, එයත් ඉවත් කළ හැකිය.

ප්‍රඥා ආයුධයෙන් තුඹස තවදුරටත් සාරන විට පංච කාමයන් නැමති මස් කපන කැත්ත සහ මස් ලොබුව හමුවේ. ඉෂ්ඨ කාන්ත මනාප රූප, ශබ්ද, ගන්ධ, රස, ඵොට්ඨබ්බ යෝ වේ. මේවායේ අශ්වාදය සහ ආදීනව දැක නිස්සරණය කළ හැකිය. ඇසට කණට නාසයට දිවට කයට ස්පර්ෂ වන පංච කාමයන් මගේ කියා ගැනීමෙන් ඇතිවන දුක්ඛයත්, එවායේ ආදීනව දැක අතහැරීමෙන් එයින් මිදිය හැකිය.

තව දුරටත් මෙම තුඹස සෑරීමේ දී නන්දි රාගය නැමති මස් වැදැල්ල හමුවේ. පෙර කාමයන් නැවත පැතීමෙන් ඇතිවන තෘෂ්ණාව නන්දි රාගයයි. නැවත් එසේ පැතුවද පෙර දේ නොලැබෙන බව එනම් පෙර පැවති ස්පර්ෂය නැවත නොලැබෙන බව අවබෝධයෙන් මෙයින් මිදිය හැකිය. උදාහරණයක් ලෙස පෙර දැක ඇති රූපයක් නැවත පැතුවත් එම රූපයත්, ඇසත් වෙනස් වී ඇත. අතීත දේ නොමැත. 

විඤ්ඤාණයෙන් දැණුවත් වී ඇත්තේ ද වෙන රූපයන් වේ. එනම් පෙර විඤ්ඤාණයත් නොමැත. මේ අනුව ඇසත් රූපයත් ගැටෙන සෑම මොහොතකම විඤ්ඤාණයත් මැරී මැරී උපදින බව අවබෝධයෙන්, ස්පර්ෂය මගේ කරගත නොහැකි වේගයක් පමණක් බව දකිමින් ස්පර්ෂ නිරුද්ධ කර එනම් ඵස්ස නිරෝධයෙන් නන්දි රාගය නැති කළ හැකිය.

මෙසේ විඤ්ඤාණය පැවැත්වීමට අවශ්‍ය ආහාර හෙවත් නාමරූප නැතිවූ විට, විඤ්ඤාණයට ආහාර නොමැතිව මියයයි. නැවත විඤ්ඤාණය ප්‍රතිසන්ධි නොවේ. එනම් සසර ගමනක අවසානයයි. නැවත උප්පත්තියක් නැත. අරහත්වයට පත් වේ. 

මෙසේ තුඹස සාරා අවසානයේ සංස්කාර සකස් නොකරන, එහෙත් පෙර කර්මය නිසා ආයුෂ ඇති සෝපදිශේෂ නිර්වානයෙන් අරහත්වයට පත් වේ. නාගයා ලෙස අර්ථ දක්වා ඇත්තේ උන් වහන්සේය. ආයුෂ අවසානයේ අනුපාදශේෂ නිර්වාණයෙන් උන් වහන්සේ පිරිණිවෙයි.

එනම් රහතන් වහන්සේ සොයාගෙන වන වැදීම පසෙක දමා, තමා තුළ ජීවත්වන රහතන් වහන්සේ හෙවත් නාගයා මතුකරගැනීමට ජීවන පැවැත්ම නැමති තුඹස සෑරීම කිරීමට කාලයයි. මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමු. එනම් සුමේධය, තුඹස ආයුධයක් ගෙන සාරව.
පූජ්‍ය මැල්සිරිපුර ධම්මකුසල හිමි
ආර්ය නිකේතනය 
කන්නිමහර-වතුරුගම.  
 
කිලිටි වූ මලබැඳුණා වූ වස්ත්‍රය
 
රෙදි සායම් කරන්නෙක් යම් වස්ත්‍රයකට සායම් පෙවීමට යයි නම් එය අවශ්‍ය පාට ගැල්වීම සඳහා පිරිසිදු වස්ත්‍රයක් තිබිය යුතුය. අපිරිසිදු මලබැදුණ වස්ත්‍රයකට සායම් පෙවිය නොහැක. මන්ද? එය අපිරිසිදු බැවිනි. මජ්ඣිම නිකායේ එන වත්ථූපම සූත්‍රය කෙලෙස් වලින් මලබැදුණ සිත නැමති වස්ත්‍රය පිරිසිදු කරගන්නා ආකාරය විස්තර කරයි. 


“සෙය්‍යථාපි භික්ඛවෙ වත්ථං සඞ්කිලිට්ඨං මලග්ගහිතං, තමෙනං රජකො යස්මිං යස්මිං රඞ්ගජාතෙ උපසංහරෙය්‍ය යදි නීලකාය යදි පීතකාය යදි ලොහිතකාය යදි මඤ්ජෙට්ඨකාය, දුරත්තවණ්ණමෙවස්ස, අපරිසුද්ධවණ්ණමෙවස්ස, තං කිස්ස හේතු? අපරිසුද්ධත්තා භික්ඛවෙ වත්ථස්ස, එවමෙව ඛො භික්ඛවෙ චිත්තෙ සඞ්කිලිට්ඨෙ දුග්ගති පාටිකඞ්කා”. 



“මහණෙනි, යම් සේ කිලිටි වූ මලබැඳුනා වූ වස්ත්‍රයක් වේ ද ඒ වස්ත්‍රය රෙදි සායම් කරන්නෙක් නිල්පාට කිරීම පිණිස හෝ රන්වන්පාට කිරීම පිණිය හෝ ලේපාට කිරීම පිණිස හෝ මදටියපාට කිරීම පිණිස හෝ යම් සායමක් පොවන්නේ ද, එය නරක පාටක් ඇත්තක්ම වන්නේය. අපිරිසිදු පාටක් ඇත්තක් ම වන්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, වස්ත්‍රය අපිරිසිදු බැවිනි. මහණෙනි, එපරිද්දෙන්ම සිත කිලුටු වූ කල්හි දුර්‍ගතියම කැමති විය යුතුය”.


සාමාන්‍ය ජනතාව කයෙන් සහ වචනයෙන් සිදුවන වැරදි පිළිබඳ සැලිකිළිමත් වුවද, සිතෙන් සිදුවන වැරදි ගැන එතරම් තැකීමක් නොකරයි. කයෙන් සහ වචනයෙන් සිදුවන වැරදි නැතිකර ගැනීම සඳහා අරඤ්ඤයකට, රුක්ඛමූලයකට හෝ ශූන්‍යාගාරයකට ගොස්, කය තැම්පත් කරගත යුතුය. එවිට  ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර යන කයෙන් සිදුවන වැරදි වලින් මිදිය හැකිය. එමෙන්ම නිශ්ශබ්ද නිසා මුසාවාද, පරුසාවාච, පිසුනාවාච, සම්පප්ප්‍රලාප යන වචනයෙන් සිදුවන වැරදි වලින් මිදිය හැකිය. මෙසේ තැන්පත් වීමක් තුළ කයෙන් සහ වචනයෙන් සිදුවන වැරදි නැති වුවත්, සිතෙන් සිදුවන වැරදි දුරු නොවේ. මෙම සිතේ ඇතිවන උපක්ලේෂයන් කිලිටි මලබැදුණ වස්ත්‍රයක් වැනිය. සිතින් කරන වැරදි බාහිරට පෙනෙන්නේ නැත. ඒවා දැනගැනීමට ත්, ඒවායින් අතමිදීමට ත්, බුද්ධ දේශනාව අනුව නුවණින් විමසා තමා පිළිබඳ පරික්ෂා කළ යුතුය. ඒ සඳහා විශේෂ ගුණ දෙකක් තමා තුළ පැවතිය යුතුය. 

·         උජු අස්ස: සෘජු වන්නේය. එනම් තමන් තුළ වැරදි ඇත්නම් එවා ඇතිබව අවංකව පිළිගැනීම.
·         සූ උජු අස්ස:මනාකොට සෘජු වන්නේය. එනම් එම වැරදි නැවත නොකරන බවට අධිෂ්ඨාන කිරීම.

එකවර වරදෙන් අතමිදෙන්නට නොහැකි වුවත්, තමා තුළ එම වරද ඇති බව දැනගත් පසු එයින් අතමිදීම ක්‍රමිකව සිදුකළ හැකිය. රහත් නොවූ කිසිවෙක් තමා තුළ මෙවැනි වැරදි නැති බව සිතීම මුලාවකි. සිතෙන් සිදුවන වැරදි නිසා ත් සතර අපායේ ඉපදෙන බව සර්වඥයන් වහන්සේ පෙන්වා දී ඇත. එනම් එම චිත්ත උපක්ලේෂ ඇත්දැයි පරික්ෂා කර බලන්න.

·   අභිජ්ඣාවිසමලොභො (Covetousness) - අභිද්‍යාව නැමති විසම ලෝභය: යම් දෙයක් මගේ වේවා යැයි පැතීම වේ. මගතොටේ කාර්යාලයේ වෙළදපොලේ තමන් ඇවිද යනවිට දකින, අහන, විඳින දේ මට අත්පත් කරගන්න ඇත්නම් හොදයි යනාදී වශයෙන් ඇතිවන ආශාවන් මීට අන්තර්ගත වේ.

·   බ්‍යාපාදො (ill will  ) - ව්‍යාපාදය:  අන් අය නැසේවා මැරේවා යනාදි වශයෙන් සිතීම. සාමාන්‍ය යෙන් තමන් මෙසේ නොසිතන්නේ යැයි සිතේවි. නමුත් මෙය ඉතා සියුම් වශයෙන් සිදුවන්නකි. තමන් යමක් මගේ කියා ගත්තා නම්, ඊට හානිකරන සියලු දෙනා ගැනත්, සියලු දේ ගැනත් ව්‍යාපාදය ඇතිවේ. උදාහරණයක් වශයෙන් තමා නුරුස්සන පුද්ගලයෙක් තමන් සිටින තැනක සිටියොත් මේ මනුස්සයා මෙතන නැත්තම් හොදයි කියා සිතෙන්නේ ව්‍යාපාදයයි. 

·   කොධො (Anger) - ක්‍රෝධය: තමන්ට තමන්ගේ සංස්කාර වල හානිකරන විට සහ හානිවන විට සිතට ඇතිවන තරහ ක්‍රෝධයයි.

·   උපනාහො (Hostility)- උපනාහය: යම් කෙනෙක්, සතෙක්, දෙයක් සමඟ ඇති බද්ද වෛරය. තමන් යම් පුද්ගලයන්ගේ මූණවත් බලන්නෙ නෑ ඒ අයගේ ගෙවල්වලට යන්නේ නෑ වශයෙන් ඇත්තේ මෙම ක්ලේෂයයි,

·   මක්ඛො (Derogation) - මක්ඛය: යම් පුද්ගලයකුගේ ගුණයක් කියන විට ‘නෑ එයා මෙහෙමයි’ කියා ප්‍රකාශ කරන්නේ මේ නිසාය. එය බාහිර ගුණ මැකීමකි. අභ්‍යන්තර ගුණ මැකීම යනු තමන් පෙර හොදින් සිටියා දැන් තමන් වැරදි කරනවා කියා සිතීම වේ.

·   පළාසො (Disparaging) - පළාසය: දෙයක් හොඳයි කියා ගෙන අනික් දේ නරකයි කියා වෙන් කරනුයේ පළාසයෙනි.  නිවන් මාර්ගයේ හැසිරෙන්නාට කිසිවක් මගේ කියා ගත නොහැක. බාහිර පළාසය ලෙස තමාට හිතවත් අය ලංකරගෙන අහිතවත් අය ඈත් කිරීම ගත හැකිය. තමාගේ කකුලක් තුවාලයක් නිසා කැපුවා නම් ඉවත්කළ කොටස මගෙ නෙමේ ලෙස ප්‍රකාශ කිරීම අභ්‍යන්තර පළාසයට උදාහරණයකි. එමෙන්ම තමන් නීචව සිටිමින් උසස් පුද්ගලයන් තමා හා සමානකර සිතනුයේ පළාසයෙනි.

·   ඉස්සා (Envy) - ඊර්ෂ්‍යාව: අන්‍යන්ගේ සම්පත් නො ඉවසීමයි. තමන්ට වඩා තව අයෙකුට ධනය, බලය, වෘත්තීන්,  අධ්‍යාපනය, ශක්තිය, අලංකාරය, දක්ෂතාවය, කීර්තිය, ප්‍රසංසාව යනාදිය ලැබෙනවා නම් ඊට ඊර්ෂ්‍යා කරයි.

·   මච්ඡරියං (Stinginess)- මච්ඡරිය හෙවත් මසුරුකම: මච්ඡරිය කොටස් පහකි. ලාභ මච්ඡරිය - ලාභ ලබාගැනීමේ ගිජු බව. ආවාස මච්ඡරිය - තමන්ගේ ගෙවල් පිළිබඳ ගිජු බව, ඇත්තෙන්ම තමන්ගේ නිවස වන්නේ තමන්ගේ ශරීරයයි. කුල මච්ඡරිය- කුලයන් හි ඇලීම. වණ්ණ මච්ඡරිය- තමා පිළිබඳ වත් තමගේ බලපුළුවන්කාරකම් පිළිබඳවත් වර්ණා කිරීම. ධම්ම මච්ජරිය - ධර්මයට ඇලී සිටීම. මේ නිසා මරා ගැනීම් පවා වර්තමානයේ සිදුවේ. අවසානයේ සත්තිස් බෝධිපාර්ෂික ධර්මයන්ට ඇලී සිටීමෙන් නිවන ප්‍රමාද වේ. අවසානයේ ධර්මයත් අතහරින ලෙස වදාරා ඇත්තේ මේ නිසාවෙනි.

·   මායා (Hypocrisy) - මායාව හෙවත් රැවටිල්ල: තමා වැරදි කරමින් ඒවා සඟවාගෙන අන් අය රැවටීමයි. එනම් මාගේ වරද අන් අය නොදකීවා ලෙස සිතා කටයුතු කිරීමයි.

·   සාඨෙය්‍යං (Fraud ) - සාඨෙය්‍ය හෙවත් සඨබව: තමා කෙරෙහි නැති ගුණ දක්වමින් අන් අය රවටන කෛරාටික ස්වභාවය සඨබව වේ. බොරු කරුණාව, බොරු මෛත්‍රිය, බොරු හිතවත්කම් ආදිය දක්වමින් අන් අයගේ ධනය, වස්තුව ආදිය තමා සතුකරගන්නේ මෙම කෛරාටික බව නිසාවෙනි. එමෙන්ම වෙළෙන්දන් බොරු මවාපාමින් තම භාණ්ඩ අළවිකරන්නේ ද කෛරාටික කම මඟිනි.

·   ථම්හො (Obstinacy) - ථම්භය හෙවත් දැඩිබව: තමන් මෙසේ කෙනෙක් කියා දැඩි මතයන් වල එල්බ සිටීම වේ. නම්‍යශීලී විය යුතු තැන්වළ නම්‍යශීලී නොවීම ථම්භයයි. ධර්මයට මාපිය ගුරුවරුන්ට වැඩිහිටියන්ට ගරු නොකිරීම, දැඩි දෘෂ්ඨි ගත වීමෙන් වචනය වෙනස් නොකිරීම ආදිය මීට උදාහරණයන්ය. ගෙවල් දොරවල්වල මහත්තයා නෝනා අතර ප්‍රශ්න ඇතිවන්නේ ද එකිනෙකා අතර ඇති දැඩි මතයන් තුළ එල්බ සිටීමය. 

·   සාරම්භො (Competition) - සාරම්භය හෙවත් එකට එක කිරීම: අනුන් යටපත් කරනු කැමැත්තෙන් අනුන්ට ඉහළින් වැඩකරන ස්වභාවයයි. අනුන් එකක් කරන විට තමන් දෙකක් කරයි. අල්ලපු ගෙදර කෙනා ගෙයක් හැදුවොත් තමන් ඊට වඩා ලොකු ගෙයක් සාදයි. අන් අය දන් දෙන කල්හි තමන් දාන දෙක තුනක් දෙයි. තමන්ගේ උත්සව ප්‍රියසම්භාෂණ අන් අයට වඩා ඉහලින් ගනී. තමන්ට එක පාරක් රිදවූ විට අන් අයට දෙතුන් පාරක් රිදවයි. මෙවැනි එකට එක කිරීම සාරම්භයයි. සෑම විටම දඟලන්නේ මම ඉස්මතු කිරීමටය.

·   මානො (Conceit) - මානය: තමන්ගේ ධනය නිසා, බලය නිසා, උගත්කම් නිසා, හැකියාවන් නිසා, පවුල් පසුබිම නිසා, පරම්පරාව නිසා තමන් උසස් කෙනෙකු යැයි කල්පනා කිරීම වේ.

·   අතිමානො (Arrogance) - අතිමානය: තමන්ගේ ධනය නිසා, බලය නිසා, උගත්කම් නිසා, හැකියාවන් නිසා, පවුල් පසුබිම නිසා, පරම්පරාව නිසා තමන් සෙස්සන්ට වඩා උසස් කෙනෙකු යැයි කල්පනා කිරීම වේ. සාමාන්‍ය මානයට වඩා උඩඟු ලෙස සිතීමයි.

·   මදො (Vanity) - මදය: ජාති මදය- සිංහල ජාතිය ආදී වශයෙන් තමන්ගේ ජාතිය නිසා මදයට පත්වීමයි. ග්‍රෝත්‍ර මදය - තමන් මෙම ග්‍රෝත්‍රයෙ යැයි ඇතිවන මදය. තමන් දන්නවා අනිත් අය දන්නේ නෑ කියා ඇතිවන මදය. නීරෝගි මදය - ලෙඩ නැති නිසා ඇතිවන මදය. යෞවන මදය - තරුණකම නිසා හටගන්නා වූ මදය.

·   පමාදො (Negligence) - ප්‍රමාදය: පංචකාම ගුණයන්ට පුනපුනා ඇලීම නිසා නිවනට ප්‍රමාද වීම. පංච කාමයන්ට ඇලුන විට එදිනෙදා වැඩ පවා පමා වේ. අධ්‍යාපනය ලබන දරුවෙක් රූපවාහිනී බලන්නට අබ්බැහි වී ඇත්නම් ඔහුගේ අධ්‍යාපන කටයුතු බිද වැටේ. එමෙන්ම ඇස, කණ, නාසය, දිව, කය යන පංච ඉන්ද්‍රියන් පිනවන්නට යෑමෙන් සිදු වන්නේ  නිවනට ප්‍රමාද වීමයි. 

·   මිච්ඡා දිට්ඨි (Wrong view) - මිත්‍යා දිට්ඨිය: චතුරාර්ය සත්‍ය අනවබෝධයයි. ඉහත සියලු වැරදි කරනුයේ මිත්‍යා දිට්ඨිය නිසාය. වත්ථූපම සූත්‍රයේ මිත්‍යා දෘෂ්ඨිය වෙනම ම සදහන් කර නැත.

යමෙක් මෙම සිත කෙළසන පාපධර්මයෝ දැන එවා දුරු කරන ලද්දේ නම් හෙතෙම බුදුන්, දහම්, සඟුන් කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයක් හෙවත් ආකාරවතී සද්ධාවක් ඇතිකර ගනී. එනම් අපිරිසිදු සිත නැමති කිලිටි මලබැඳුනා වූ වස්ත්‍රය පිරිසිදු ජලය වැනි යෝනිසෝ මනසිකරය තුළින් යම්සේ පිරිසිදු වන්නේද, එවැනි සිත නැමති වස්ත්‍රයට සද්ධර්මය නැමති සායම පොවමින් නිර්වානය සාක්ෂාත් කරගත හැකිය.   

“සෙය්‍යථාපි, භික්ඛවෙ වත්ථං සඞ්කිලිට්ඨං මලග්ගහිතං අච්ඡං උදකං ආගම්ම පරිසුද්ධං හොති පරියොදාතං, උක්කාමුඛං වා පනාගම්ම ජාතරූපං පරිසුද්ධං හොති පරියොදාතං, එවමේව ඛො භික්ඛවෙ භික්ඛු එවංසීලො එවංධම්මො එවංපඤ්ඤො සාලීනඤ්චෙපි පිණ්ඩපාතං භුඤ්ජති විචිතකාළකං අනේකසූපං අන්කේබ්‍යඤජනං, නෙවස්ස නං හොති අන්තරායාය”.

“මහණෙනි, කිලුටු මළරැඳුනා වූ වස්ත්‍රය පිරිසිදු ජලය ලැබ යම්සේ පිරිසිදු වේද, බබලන්නේ වෙයිද, කෝවයෙහි දමන ලද රන්රිදී යම්සේ පිරිසිදු වෙයිද, බබලන්නේ වෙයිද මහණෙනි, එපරිද්දෙන්ම මෙබඳු සිල් ඇති, මෙබදු සමාධි ඇති, මෙබදු ප්‍රඥා ඇති භික්ෂුවට කලුහාල් ඇට අස්කළ ඇල්හාලේ බත නොයෙක් සූප ව්‍යඤ්ජන ඇතිව අනුභව කෙරේද ඔහුට එය අන්තරාය පිණිස නොවෙයි”.

එනම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කර ඇත්තේ නිකෙලෙස් සිතක් ඇතිකරගත් පසු නැවත සසරට බිය නොවියුතු බවයි. මන්ද? සිත පිරිසිදු වී ඇති බැවිනි. එවැනි නිකලෙස් උත්තමයෙකුගේ සිතට කුමන අරමුණක් ආවත් එය ක්ලේෂයක් බවට පත්වන්නේ නැත. ඒ උතුම් රහතන් වහන්සේ වැඩ සිටින්නේ තමා තුළමය. මලබැඳුණ සිත පිරිසිදු කරගෙන සංසාර දුක නැතිකර ගනිමු.
පූජ්‍ය මැල්සිරිපුර ධම්මකුසල  හිමි
ආර්ය නිකේතනය 
කන්නිමහර-වතුරුගම.



ප්‍රාණඝාතය සහ ආර්ය ජීවිතය

සත්වයකුට ජීවත්වන්න ඇති ආයුකාලය ගත කරන්නට ඉඩනොදී අතරතුර යම් උපක්‍රමයකින් මරණයට පත් කිරීම ප්‍රාණඝාතයයි. ප්‍රණඝාතය සම්පුර්ණ වීමට අංග පහක් සම්පූර්ණ විය යුතුය.
“පාණෝ හවෙ පාණසඤ්ඤී-වධකචිත්ත මුපක්කමෝ
තේන ජීවිතනාසෝ ච- අංගා පඤ්ච වධස්සිමේ”
  • 1               පණ ඇති සතෙකු වීම.
  • 2              පණ ඇති සතෙකු බව දැනීම.
  • 3              මරණයට සිතක් ඇති වීම.
  • 4              මරන්නට උපක්‍රම යෙදීම.
  • 5              ඒ උපක්‍රමය නිසා මරණය සිදුවීම.
සාමාන්‍ය ජීවිතයේ දී මදුරුවෙක්, කූබියෙක් මැරුවත් ප්‍රාණඝාතය සිදුවේ. නමුත් ඇසට නොපෙනෙන ප්‍රාණීන් මරණයට පත් වීම තුළින් ප්‍රාණඝාතය සිදු නොවේ. අප හුස්ම ගන්නාවිට ද ක්ෂුද්‍ර ජීවීන් මරණයට පත්වේ. එයත් ප්‍රාණඝාතය බව සලකන නිඝන්ඨනාථපුත්තගේ දර්ශනයේ ඇත්තේ අන්තගාමී බවකි. ප්‍රඥාවන්ත ප්‍රායෝගික දහමක්  සර්වඥයන් වහන්සේ ලොවට දේශනා කර ඇත. අනුරුද්ධ ස්වාමින් වහන්සේ, පැන් රෙදිකඩකින් පෙරා ඒ දෙස දිබ්බචක්ඛු ඤාණයෙන් බැලූ විට ප්‍රාණීන් සිටින බව දකින ලදි. පසුව බුදුපියාණන් වහන්සේගෙන් “මෙම පැන් කෙසේ වළදනවා ද” යන්න විමසූ විට, “පියවි ඇසෙන් බලා වළදන ලෙස” උපදෙස් දුන් සේක. මේ අනුව ඇසට පෙනෙන මානයේ සිටින සත්වයන් මැරීම ප්‍රාණඝාතයට හසුවන බව පැහැදිළිය.
නමුත් උන් වහන්සේ සියලු ප්‍රාණීන්ට වන හානිය අවම කිරීම සදහා භික්ෂුන්ට විනය සික්ෂා පද පනවා ඇත. පැන් වැළදීමේ දී එය රෙදිකඩකින් පෙරා, පසුව එම රෙදිකඩ ගලායන ජලයේ සෝදන ලෙසත් (අද ගලායන ජලය පානය නොකරන බැවින් මේ පිළිබඳ ප්‍රායෝගික ගැටලු භික්ෂුවට ඇත), ජලය රත් නොකරන ලෙසත්, සතුන් පෑගෙන බැවින් බිම බලාගෙන ගමන් කරන ලෙසත්, පොළොව නො සාරන ලෙසත් වශයෙන් විනය සික්ෂා පද පනවා ඇත.
කෙසේ වෙතත්,භාග්‍යවතුන් වහන්සේ ප්‍රාණඝාතයෙන් වෙන් වන්නට කියා දේශනා කලේ හේතු කීපයක් නිසාය. එනම්
  • ·         සියලු සත්වයන්ට තම ජීවිතය නිදහසේ ගතකිරීමට ඇති අයිතිය වටහා දීම සඳහා,
  • ·         ප්‍රාණඝාතය නිසා සසරේ නොයෙකුත් දුක් විපාක ලැබෙන බව පෙන්වා දීමට,
  • ·         සත්වයන් සසර දුක්ඛයෙන් අතමිදේවා! යන මෛත්‍රී කරුණා ගුණ ඇතිකර, තම සිත කෙලෙස් වලින් පිරිසිදු කර ගැනීම සඳහා යන කරුණු පෙරදැරි කරගෙනය.
අපට අපගේ ජීවිතය වටිනවා සේම අනෙකුත් සත්වයන්ට ද ඒ අයගේ ජීවිතය වටින්නේය. තමන් වැඩියෙන්ම ආදරය කරන්නේ තමන්ගේ ප්‍රාණයටයි. සතර අපායේ ඉපදුන සත්වයා පවා සිතනුයේ තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගැනීමටය. ඔවුන්ට එම ආත්මයන් දුක්ඛ බව නො වැටහේ. හේතුව ඔවුන්ට සුගතිගාමී සත්වයන්ට මෙන් ප්‍රඥාවන්තව සීතීමට නොහැකි නිසාවෙනි. තමන්ගේ ප්‍රාණය රැකගැනීමට ඕනෑම දෙයක් කිරිමට මිනිසුන් පෙළඹෙන්නේ ඒ තරම් ප්‍රාණය වටිනා නිසාය. කුමක් කරන්නටත් ජීවත්ව සිටිය යුතුය. නිවසට සොරුන් පැමිණ ජීවිත තර්ජනය කර දේපල වස්තුව ඉල්ලා සිටියහොත් ඒම වස්තුව ලබාදී ජීවිතය බේරාගන්නේ ජීවිත ආදරය නිසාය. එමෙන්ම විවිධ රෝග වලදී ශරීරයේ අංග පවා ඉවත් කරමින් පණ ගැටගසා ගැනීමට උත්සහ කරන්නේ තමන්ගේ ජීවිත ආසාව නිසාය. මෙවැනි කෙනෙකුට තවත් සතෙකුගේ ප්‍රාණය තොරකිරීමට පුළුවන් ද? යන්න ප්‍රශ්නයකි. තමන් වෙනුවෙන් තව සතෙක් ජීවිතය පුජාකළ යුතුය ලෙස නීතියක් නැත. එසේ සිතන්නේ තමන් පිළිබඳව පමණක් සිතන දෘෂ්ඨියකිනි. බුදු පියාණන් වහන්සේ සියලු සත්වයන්ට තමන්ගේ කර්මය අනුව සාදාගත් ආත්මභාවය නිදහසේ ගතකිරීමට අවස්ථාව ඇති බව ප්‍රාණඝාතයෙන් වෙන්වීම තුළින් මනාකොට පෙන්වා දී ඇත.
සත්වයන් ඉපදි ඉපදී මැරි මැරී යන සංසාර ගමනේ ප්‍රාණඝාතය නිසා නොයෙකුත් දුර් විපාක වලට පත් වන්නට සිදුවන බව ධර්මයේ සදහන් වේ. උත්තර ස්වාමින් වහන්සේ නොකල සොරකමකට වරදකරුවී උල තබා අපවත් කරන ලදි. ඊට හේතුව වූයේ මැස්සෙකු කෝටුවකින් ඇන මරා සතුටු වූ පෙර කර්මයකි. ජේතවනාරාමය අසල සිටි ඌරන් මැරූ පුද්ගලයා අවසන් කාලයේ රෝගාතුරුව ඌරෙකු මරලතෝනි දෙන විදියට කෑගැසූ බව සදහන් වන්නේ දිට්ඨධම්මවේදනීය කර්ම විපාකයක් වශයෙනි. එමෙන්ම ප්‍රාණඝාතය කරන කෙනා මරණින් මතු දුගතියේ උපදින බවත්, පසුව මනුෂ්‍ය ලෝකයේ ඉපදුනහොත් ආයුෂ අඩුවන බවත් චූල කම්මවිභංග සූත්‍ර‍යේ සදහන් වේ. එමෙන්ම සත්වයන්ට හිංසා පීඩා කිරීම නිසා දුගතියේ ඉපදී පසුව මනුෂ්‍ය ලෝකයේ ඉපදුන විට බොහෝ ආබාධ ඇතිවන බවත් එම සූත්‍රයේ සදහන් වේ. යම් කිසි කෙනෙක් සතෙක් මරණ විට එම සතාගේ ජීවත්වීමට ඇති ආයුෂය අඩු කරයි. එනම් එම පුද්ගලයාගේ කැමැත්ත ඇත්තේ ආයුෂ අඩුකිරීමටයි. එබැවින් ඉපදුන විට තමන්ගේ කැමැත්ත අනුවම කෙටි කලකින් මරණයට පත් වේ. හිංසා පීඩා කිරීම යනු සත්වයන් ව ආබාධ වලට පත් කිරීමයි. මෙහි ප්‍රතිඵලය වන්නේ තමනුත් ලෙඩෙක් ලෙස ජීවත් වීමයි. කෙනෙක් අඩු වයසින් මැරුණ විට ලෙඩ වූ විට අප ‘අනේ පව්’ කියා කිව්වත්, එය ඒ අයගේම කර්ම විපාකයකි. අප විපාකය පිළි නොගත්තත් කර්මය අනුව එම විපාකය ඔවුන්ට උරුමය. තිරිසන් සතුන් බොහෝවිට ප්‍රාණඝාතයෙන් යැපේ. බොහෝ කාලයක් ඔවුන්ට එම තිරිසන් ආත්මයෙන් මිදෙන්නට නොහැකි වන්නේ ඔවුන්ගේ කර්මය නිසාය.
මම මගේ යන වැරදි වටහාගැනීම තුළින් ඇතිවන සංසාර බන්ධනය නැතිකර ගැනීම සදහා සර්වඥයන් වහන්සේ ධර්මය දේශනා කළ සේක. භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ දරුවට මෙන් සෑම සත්වයකුටම මෛත්‍රිය දැක්විය යුතු බව කරණීය මෙත්ත සූත්‍රයේ සදහන් වන්නේ “මාතා යථා නියං පුත්තං ආයුසා එකපුත්ත මනුරක්ඛෙ එවම්පි සබ්බ භුතේසු මානසං භාවයේ අපරිමාණං”ලෙසයි. තමන්ට මව නොවුන, පියා නොවුන, දරුවා නොවුන, ස්වාමිපුරුෂයා නොවුන,භාර්යාව නොවුන, සහොදර සහොදරිය නොවුන කෙනෙක් සත්වයන් තුළ නොමැති බව බුදු පියාණන් වහන්සේ දේශනා කර ඇත. එනම් සියලූ ම සත්වයන් තමන්ගේ ඥාතීන් වේ. මේ අනුව පොළොවේ සිටින පණුවා තමන්ගේ දරුවා නම්, මව නම් එම පණුවා කෙසේ නම් මැරිය හැකිද?. පිප්ඵලී මානවක (පසුව මහා කාශ්‍යප මහරහතන් වහන්සේ) ගොවිතැනේ දී සිදුවන සත්ව විනාශය පිළිබඳ කළකිරී ගිහිගෙයින් නික්ම පැවිදි විය. කෙනෙක් තමන්ගේ අය ගැන පමණක් සිතයි නම් ඔහු කුලයක් අල්ලාගත් තැනැත්තෙකි. ඔහුට සියලු සත්වයන්ට මෛත්‍රිය පැතිරවිය නොහැක. සියලු සත්වයන් මාගේ දරුවන් ලෙස සිතන විට කිසිදු දරුවෙකු මගේ කියා ගන්නේ නැත. මමත්වය බිදීමට මෛත්‍රිය උපකාර වන්නේ ඒ ආකාරයටයි. සත්වයන් සසර දුක්ඛයෙන් අතමිදේවා! යන මෛත්‍රී කරුණා ගුණ ඇතිකර, තම සිත පිරිසිදු කර ගැනීම සදහා බුදු පියාණන් වහන්සේ ප්‍රාණඝාතයෙන් වෙන්වන ලෙස දේශනා කලේ මේ නිසාවෙනි.
සම්මුතිය තුළ පොළොව හාරා කරන කටයුතු වලින් ප්‍රාණඝාතය සිදුනොවන බව ප්‍රකාශ වේ. සාමාන්‍ය ගිහි ජීවිතයක් ගත කිරීමට ඒවා කිරීමට සිදුවේ. නමුත් ගැඹුරින් ආර්ය ජීවිතයක් හෙවත් නිවන පමණක් තෝරාගත් ජීවිතයක් තුළ සතෙක් මරණවා තියා මැරීමට සිතක්වත් පහළ කළ නොහැක. සතෙක් මැරීමේදී කර්ම පථයක් සෑදී එහි විපාක ඉදිරියේ දී ලැබෙන අතර, මැරීමට සිතීමේ දී එවැනි කර්ම පථයක් සකස් නොවුනත් ක්‍රෝධය,වෛරය යන සිතුවිලි වලින් සිත අපිරිසිදු වේ.
සාමාන්‍ය ගිහි ජීවිතය ගතකරන අයගේ මූලික අරමුණ වන්නේ නිර්වාණය නොවේ. ඒ අය අඹුදරුවන් පෝෂණය කරමින් රැකීරක්ෂා කරමින් සංසාර බන්ධනයන් තුළම රැදෙමින්, විදින දුක, සැපක් ලෙස ගනිමින් සංසාරයේ ගමන් කිරීමයි. නමුත් ඉන් ඉතා අතලොස්සක් ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ යථාර්ථය ඉස්මතු කරගැනීමට වීර්ය කරයි. භික්ෂුව එවැනි අයෙකි. “සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය” ලෙස නිර්වාණය මූලික ඉලක්කය කරගත් භික්ෂුවට පොළොව සෑරීම වරදක් බව බුදු පියාණන් වහන්සේ දේශනා කර ඇත්තේ ප්‍රාණඝාතයේ ඒ ගැඹුරු අර්ථය වටහා දීමටය. යම් අයෙකුගේ අරමුණ නිවන පමණක් නම් ඔහුට රැකියා අවශ්‍ය නැත, අඹු දරැවන් අවශ්‍ය නැත, මිළ මුදල් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ සිව්පසය පමණි. එම සිව්පසය ලබාගෙන නිවන් දැකිය හැකිය.
බුදු පියාණන් වහන්සේ දේශනා කර ඇත්තේ භික්ෂුවට පිණ්ඩපාතයෙන් යැපී, පාංශුකූලික චීවරය දරාගෙන ගසක් මුලක සිට රෝගී වූ විට තමන්ගේම මුත්‍රා බෙහෙත් වශයෙන් ගෙන බවුන් වඩන ලෙසයි. එය භික්ෂුවකට ලැබෙන පහලම ජීවිතයයි.  එම පැවැත්ම, ජීවිතය අතහැර දමා ගතකරන්නකි.  නමුත් තමන්ගේ කුසලය අනුව ඊට ඉහළ ප්‍රත්‍ය, අවශ්‍යතාව අනුව ලැබුනොත් ලබාගන්නා ලෙස බුදු පියාණන් වහන්සේ අනුදැන වදාරා ඇත.  
සංසාරය තුළ හිරවී ඇති අයට සිව්පසය මදිය. ඔහු කිසිවක් අතනොහැර නිර්වාණය අවබෝධ කරගැනීමට සිතයි. නමුත් එසේ කළ නොහැක. තමන් සංසාරයට බැදී ඇති බැමි බාධකයන් වශයෙන් බුදුධිමත්ව අවබෝධකර නොගන්නා තාක්කල් ඒවායෙන් මිදිය නොහැක. තමන්ගේ බන්ධනයන් අවබෝධකරගත යුතු වේ. සාමාන්‍ය ගිහි ජනතාව අවබෝධ කරගත යුත්තේ තමන් සිටින ස්ථානයත් යා යුතු ස්ථානයත් ය. සිටින ස්ථානය සකස්විය යුතු බවට අවබෝධකරගත් පුද්ගලයාට පමණක් ඉදිරි ගමනක් ඇත. මෙම සත්‍ය තේරුම් ගන්නේ සත්වයන් මහපොළොවේ වැලි තරම් නම් ඉන් නිය පිටට ගන්නා තරම් වූ ප්‍රමාණයක් වේ.
ඔබවිසින් සත්‍ය තේරුම්ගත යුතුය. ආර්ය ජීවිතයයි, ගිහි ජීවිතයයි පටලවා නොගන්න. ගිහි ජීවිතය ගිහි ජීවිතය ලෙසත්, ආර්ය ජීවිතය ආර්ය ජීවිතය ලෙසත් වෙන්කර හදුනාගන්න. ගිහියෙක් ගිහි කටයුතු කරන අවස්ථාවේ දී ආර්ය ජීවිතයක් ගත නොකරයි. නමුත් ගිහි අයෙක් භාවනා කරමින් සතර සතිපට්ඨානය තුළ ජීවත්වන අවස්ථාවේ දී ඔහු ආර්ය ජීවිතයක් ගතකරයි. එහි දී ඔහු කෙසේවත් ප්‍රාණඝාතය සිදු නොකරයි. එවිට ඔහුට මාර්ගඵල අවබෝධ කරගැනීමේ භාග්‍ය ඇත. රහතන් වහන්සේ කියන උත්තම තැනට සිත පත් කර ගැනීමට තව කොතරම් වැරදි හදාගෙන සිත පිරිසිදු කරගත යුතුද? යන්න කල්පනා කළයුතු කාලය එළඹ ඇත. 

පුජ්‍ය මැල්සිරිපුර ධම්මකුසල හිමි
ආර්ය නිකේතනය
කන්නිමහර-වතුරුගම.

නුදුන් දේ ගැනීම

සම්මුති ජීවිතය තුළ අනුන්ට අයත් වස්තුවක්, අයිතිකරුට හොරෙන් හෝ ඔහු රැවටුමෙන් හෝ බිය ගැන්වීමෙන් හෝ බලහත්කාරයෙන් හෝ ගැනීම අදත්තාදානය ලෙස හැදින්වේ. අදත්තාදානය හෙවත් සොරකම් කිරීම, කර්ම පථයක් බවට පත්වීමට කාරණා පහක් සම්පූර්ණ විය යුතුය. එනම් අන්සතු වස්තුවක් වීම, අන්සතු වස්තුවක් බව දැනීම, පැහැරගනු ලබන සිත, පැහැර ගැනීමට උපක්‍රම කිරීම සහ වස්තුව ගැනීම යන අංග පහයි.
අදත්තාදානය සිදුකරන ආකාර පොතපතේ පහත ලෙස පෙන්වයි. මෙම ක්‍රමයන් පිළිබව ව්‍යතිරේඛයන් ද පවතී.
අනුන් අයිති වස්තුවක්/සත්වයෙක් නඩු කියා තමන් සතුකර ගැනීම, තමන් ගෙනයන අනුන්ගේ වස්තුවක්/සත්වයෙක් සොර සිතින් ගැනීම, තමන් ලග පරිස්සමට තැබූ වස්තුවක්/සත්වයෙක් නොදී සිටීම, වෙනත් අයකු වෙත ගෙන යන වස්තුවක්/සත්වයෙක් එම ගෙනියන පුද්ගලයා ලවාම සොර සිතින් තමන්ට අවශ්‍ය තැනකට ගෙන්වා ගැනීම, යම් වස්තුවක් සොර සිතින් තුබූ තැනින් එසවීම (සත්වයෙක් නම් සිටිය තැනින් සොරකම් කිරීම), සියතින් ම සොරකම් කිරීම, අනුන් ලවා සොරකම් කරවීම, ගෙන යන බඩු හෝ ගෙදරක බඩු සොර සිතින් එලියට විසිකර පසුව අහුලා ගැනීම, අනුන්ගේ වස්තුවක් සොරකම් කරවීමට නියම කිරීම, අන්සතු වස්තුවක හිමියාට ඇති ආශාව නැතිකර රවටා තමා සතුකර ගැනීම, පූර්ව ප්‍රයෝගයෙන් හෝ ප්‍රයෝගය සම ම සොරකම් කිරීම, කීප දෙනෙකු එකතු වී සොරකම් කිරීම, වේලාව නිමකර සොරකම් කිරීම, සංඥා නියම කොට සොරකම් කිරීම, හොරට කිරුම් මිනුම් කිරීම, අන් සතු වස්තුව හිමියාට නොපෙනෙන ලෙස ගැනීම, අනුන් තළා පෙළා බිය ගන්වා අන්සතු වස්තුව ඉල්ලා ගැනීම, භාණ්ඩය පිළිබඳ ව ද සහ ප්‍රදේශය පිළිබඳව ද නිශ්චයක් නැතිව අන්සතු වස්තුව සොරා ගැනීම, අන්සතු දේ වැලි ආදියෙන් වසා දමා පසුව ගැනීම, අන්සතු දේ තමා නමින් ලේබල් කර සොරා ගැනීම යනා දී ක්‍රම  විධි අදත්තාදානයට අයත් වේ.
මෙසේ සොරකම් කිරීම, මෙලොවදී ත් පල දෙයි. එසේ සොරකම් කිරීමෙන් රජයේ වධ බන්ධනවලට ලක්වීමට සිදුවේ. එමෙන්ම සමාජයෙන් ගැරහුම් ලබයි. තවද පහර කෑම් ලක්වී මරණයට පවා පත්විය හැකිය. මරණෙන් මතු නිරයේ ඉපිද බොහෝ කලක් දුක් විදියි. ප්‍රේතව ඉපිද සා පිපාසයෙන් පෙලේ. තිරිසන්ව ඉපිද වස්තු හිමියන්ට බර අිමින් දුක් විදී. සතර අපායෙන් මිදී මිනිසත් බව ලැබු කල්හි දුගීව උපදියි. බැල මෙහෙවරකම් කරයි. කෙස සිරුර සහිතව කුණු තවරාගෙන උකුණන් පිරුණ හිස් ඇතිව මහා දුකක් විදියි.
කෙසේ වෙතත් අදත්තාදානය ආර්ය ජීවිතය තුළ විග්‍රහ කිරීම, නිර්වාණය කරා යන අයට මහත් උපකාරයක් වනු ඇත.
ආර්ය විනයේ අංගයක් ලෙස අදත්තාදානයෙන් වෙන්වීම, “දින්නාදානං නිස්සාය අදින්නාදානං පහාතබ්බා - දුන් දේ ගැනීම නිසා නොදුන් දේ ගැනීම හළයුතුය ලෙස පෝතලිය සූත්‍රයේ සදහන් වෙයි. ආර්ය ජීවිතය යනු නිවන පමණක් තොරාගත් ජීවිතයයි. භික්ෂුව යනු ආර්ය ජීවිතයක් ගතකිරීමට සිවුර දරාගත් උත්තමයෙකි. ගිහි අයෙකු සෘජුවම නිවන අරමුණු නොකරන අතර තමන්ගේ අවිද්‍යාව නිසා සංසාරය හොදයි මැනවයි කියා සිතන අයෙකි. නමුත් ගිහියෙකුට වුවත් ආර්ය ජීවිතයකට එක්තරා ප්‍රමාණයකට හෝ ඇතුල්විය හැකිය. මෙය කියවන ඔබ මෙම කාරණය පටලවා නොගෙන අවබෝධ කරගන්න.  
නිවන් දකින කෙනාට අවශ්‍යතා ප්‍රධාන හතරකි. සිව්පසය ලෙස පෙන්වා දෙන්නේ මෙම අවශ්‍යතා වේ. මෙම සිව්පසය ලබාගත යුත්තේ දුන් දෙයක් ලෙසිනි. නුදුන් දෙයක් ලෙස නොවේ.ඊට හේතුව වන්නේ තණ්හාව ඇතිකර නොගැනීමයි. භික්ෂුව පරිහරණය කරන චීවරය දුන් දෙයකි. එනම් කවුරු හෝ පූජා කල දෙයකි. කැමති ලෙස මිල දී ගත් දෙයක් නොවේ. එමෙන්ම එම චීවරය පරිහරණය කරන්නේ ආරක්ෂාවට ත්, විලිවසා ගැනීමට ත් කියන කාරණා සදහාය. මෙලෙස භික්ෂුවක් පූජාකල චීවරයක් ප්‍රත්‍යවේක්ෂා කොට පරිහරණය කරන්නේ නම් ඒ තුළ තෘෂ්ණාවක් ඇති නොවේ. නමුත් චිවරවලට කෑදරකමින් පරිහරණය කරනවා නම් එහි දී තෘෂ්ණාව ඇති වේ. නමුත් සාමාන්‍ය ගිහි පුද්ගලයා ඇදුම් කැමති ලෙස මිල දී ගෙන, ඒවා ලස්සනයි හොදයි මැනවයි කියා ඒවා පරිහරණය කරන බැවින් එහි තෘෂ්ණාව ඇත. එනම් භික්ෂුවට චීවරය දුන් දෙයි. සාමාන්‍ය ගිහියාගේ ඇදුම ගත් එකකි. එනම් පූජා නොකල නුදුන් දෙයකි.
භික්ෂුවකට දානය දුන් දෙයකි. එනම් පුජා කළ දෙයකි. එම දානය වළදනුයේ මදයට, ජවයට, අලංකාරයට රසවිදීම පිණිස නොවන බව ප්‍රත්‍යෙව්ක්ෂා කරයි. එහිදී ආහාරය නිසා තෘෂ්ණාවක් ඇති නොවේ. එසේ නොකරන්නේ නම් තෘෂ්ණාව ඇති වේ. නමුත් සාමාන්‍ය ගිහි අයෙක් කැමති දේ මිලදී ගෙන, තමන් කැමති ලෙස ආහාර පිළියල කරගෙන, රස තෘෂ්ණාවෙන් අනුභව කරයි. එහිදී ඔහුට තෘෂ්ණාව ඇති වේ. මේ අනුව භික්ෂුවට දානය දුන් දෙයකි. මන්ද පූජාකල දෙයක් වන බැවිනි. එමෙන්ම කැමති ලෙස ආහාර මිලදී ගත්තානම් එය ගත් දෙයකි. එනම් එය නුදුන් දෙයකි.
භික්ෂුව පරිහරණය කරන කුටිය, පංසල, ආරාමය, සේනාසනය කවුරු හො පූජාකල දෙයකි. එනම් එය දුන් දෙයකි. එය පරිහරණය කරනවිට භික්ෂුව, ආරක්ෂාව සහා භාවිතා කරන බවට ප්‍රත්‍ය වේක්ෂා කර පරිහරණය කරන නිසා එහි තෘෂ්ණාවක් ඇති නොවේ. නමුත් සාමන්‍ය ගිහි පුද්ගලයා තමන් කැමති ලෙස සැලසුම්කර නිවසක් සාදාගෙන එහි ඇලීගැලී වාසය කරයි. එනම් එහි තෘෂ්ණාව හටගනී. එනම් භික්ෂුවට වාසස්ථානය දුන් දෙයකි. නමුත් ගිහි පුද්ගලයාට වාසස්ථානය, කැමති ලෙස සාදාගත් නුදුන් දෙයකි.
භික්ෂුවට බෙහෙත් හේත් පූජා කරයි. එනම් එය ද දුන් දෙයකි. බෙහෙත් වළදන විටත් ප්‍රත්‍යවේක්ෂාකර වළදන නිසා එහි තෘෂ්ණාවක් හට නොගනී. නමුත් සාමාන්‍ය ගිහි පුද්ගලයා බෙහෙත් මිලදී ගන්නේ නම් එය නොදුන් දෙයකි.  
භාග්‍යවතුන් වහන්සේ අත්‍යාවශය දේ ඉල්ලීම සහා යම් අවස්ථාවන්හී දී භික්ෂුවට අවසර ලබා දී ඇත. නමුත් බුදු පියාණන් වහන්සේ භික්ෂුවට අනුදැන වදාලේ පෙර කුසලය මත විවිධ ආකාරයෙන් දානය ලැබුනොත් වළදන ලෙසත්, එසේ නොමැතිනම් පිණ්ඩපාතෙන් යැපෙන ලෙසත් ය. එමෙන්ම තමාට ලැබුන දානය ජීවිතයේ අවසන් ආහාරය ලෙස සලකා විදසුන් වැඩිය යුතු බවත්ය. එමෙන්ම පෙර කුසලය මත යම් සේනාසනයක් භික්ෂුවට ලැබුනේ නම් එහි නො ඇලී වාසය කරන ලෙසත්, නැතිනම් ගසක් මුල වාසය කරන ලෙසත් අනුදැන වදාරා ඇත. තවද චීවරය පෙර කුසලය මත ලැබුණොත් එය නො ඇලී පරිහරණය කරන ලෙසත් නැතිනම් මළමිනිය ඔතා දමන ලද පාංශුකූල චීවරය පරිහරණය කරන ලෙසත් වදාරා ඇත. එමෙන්ම බෙහෙත්හේත් පෙර කුසලය මත ලැබුණොත් නොඇලී වළදන ලෙසත්, එසේ නොමැතිනම් තමන්ගේම මුත්‍රා බෙහෙත් වශයෙන් ගන්නා ලෙසත් වදාරා ඇත. මේ අනුව නිවන් අරමුණු කරන කෙනා යනු ජීවිතයට ඇති ආශාවද අතහැර දමමින්, මමත්වය අතහැර දමමින් කටයුතු කරන පුද්ගලයායි. ඔහු ක්‍රමයෙන් නිවෙන කෙනෙකි. සිතේ කෙලෙස් ගති නැති වී අභ්‍යන්තරය පිරිසිදු කරගන්නා කෙනෙකි. විවේකීව සතුටින් සැහැල්ලුවෙන් තමන්ගේ ජීවිතය ගතකරන කෙනෙකි. සියලු පව් අතහරින කෙනෙකි. සසර බැදීම් වලින් නිදහස් වන කෙනෙකි. ප්‍රශ්න සියල්ලෙන් නිදහස් වන කෙනෙකි.
මගේ කියා ගත නොහැකි දේවල් මගේ කියා සිතෙන් අත්පත්කර ගැනීමත්, ගැඹුරින් සලකා බැලූවිට නුදුන් දෙයක් අත්පත් කරගැනීමකි. පාරේ යන විට යම් අයෙක්, වාහනයක්, මල් ගසක් හො වෙනයම් රූපයක් ලස්සනයි, හොදයි මැනවයි, අත්පත් කරගන්න ඇතිනම් හොදයි ලෙස සිතයි නම්, එය තමන්ට නුදුන් දෙයක් මගේ කරගැනීමකි. මෙසේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ෂ යන පංචකාමයන් මගේ කියා ගැනීම නුදුන් දෙයක් මගේ කරගැනීමකි. මේ තුළින් රජයේ බන්ධනාගාර වලට යාමක් සිදු නොවන නමුත්, සංසාර හිරකූඩුවේ සිරවීමක් වී අප්‍රමාණ දුකක් විදී. ස්වභාව ධර්මයේ ධාතු හතරකින් සාදන මව හා පියා නිසා බිහිවන ආහාර නැමති සතර මහ ධාතුන්ගෙන් පෝෂණය වන රූපය හෙවත් තමන්ගේ කය සෑම මෙහොතකම වෙනස්වෙමින් ජරාවටත්, මරණයටත් පත් වේ. මෙම රූපය ද තමන්ට නොදුන් දෙයකි. තමන්ගේ අවිද්‍යාව සහ තෘෂ්ණාව නිසා නිත්‍යයි, සුඛයි, ආත්මයි කියා ස්වභාව ධර්මයට අයිති රූපය සහ රූපය හා බැදුන සියල්ල මගේ කරගෙන අප්‍රමාණ දුකක් විදී. තමන් අයිති නැති, තමන්ගේ වසයේ පත්වාගෙන යා නොහැකි රූප නිසා හටගන්නා සියලු සිත් ද අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ක්‍රියාවලියකි. මෙම සිත සහ කය මගේ කරගැනීම නිසා බොහෝ දුකට පත්වේ. මෙය නුදුන් දේ ගැනීමේ ආදීනවයයි.
පඨවි, ආපො,තේජෝ, වයෝ, ආකාස සහ විඤ්ඤාණ ස්වභාව ධර්මයේ ශක්තීන් සමූහයකි. මෙම කිසිදු ශක්තියක් මගේ නොවේ. මට අයිති නැති මට පාලනය කළ නොහැකි මෙම ස්වභාව ධර්මයේ ශක්තීන් මගේ කියා ගැනීමම නුදුන් දේ ගැනීමකි. එබැවින් බුදු පියාණන් වහන්සේ මේවා මගේ කියාගත්ත කෙනා දුක් විදින බව පෙන්වා දී ඇත.
තමන්ගේ ජීවිතය දිහා බලන්න, තමන් කොතරම් තමන්ට අයිති නැති දේ මගේ කරගෙන දුක් විදනවාද කියලා. අම්මා තාත්තා හදපු කළලය මගේ කරගත්තා. ඊට පස්සේ සෙල්ලම් බඩු මගේ කරගත්තා. ඊට පස්සෙ පොත්පත්, ඇදුම් පැළදුම් මගේ කරගත්තා, ඊට පස්සේ ස්වාමියා, භාර්යාව, දරුමුණුපුරන්, ඤාතීන් මගේ කරගත්තා. දේපල ඉඩකඩම් මගේ කරගත්තා. යානවාහන මගේ කරගත්තා. හිතවතුන්, අසල්වාසීන් මගේ කරගත්තා. බලන්න තමන්නට අයිති නැති නුදුන් දේ මගේ කරගැනීම නිසා දුක එන්න එන්නම වැඩිවුනාද? අඩුවුනාද? කියලා. කවුරුත් බලකලේ නෑ, ඒවා තමන්ගේ කරගෙන දුක්විදින්න කියලා. තමන්මයි  එම දුක හදා ගත්තේ. එහෙනම් තමන්මයි මේ අවුල ලිහාගත යුත්තේ. ඒකයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ නිවන් දකින්න අවශ්‍යම ස්වභාව ධර්මයේ දේවල් ටිකක් පමණක්, මගේ කරගන්නේ නැතිව පාවිච්චි කරලා සංසාරයෙන් එතෙරවෙන්න කියලා. “වස්තු දාහකි දුක් දාහකි, වස්තු නැත්තාට දුකක් නැත ලෙස ප්‍රකාශ කරනුයේ මෙම ගැඹුරු ධර්මය නිසාය. එනම් වහාම නුදුන් දේ අතහැර සංසාර දුකින් මිදෙමු.

පූජ්‍ය මැල්සිරිපුර ධම්මකුසල හිමි,
ආර්ය නිකේතනය,
කන්නිමහර-වතුරුගම.   






කාමයෝ බොහෝ දුක් පීඩා සහිත ආදීනව ඇත්තාහ.

භාග්‍යවතුන් වහන්සේ පංච කාමයෝ බෝහෝ දුක් පීඩා ඇතිබවත්, බොහෝ ආදීනව ඇති බවත්, අල්ප ආශ්වාදයක් ඇති බවත් දේශනා කළ සේක. ඇසට ගොචරවන වර්ණ රූප, කණට ගොචරවන ශබ්ද රූප, නාසයට ගෝචරවන ගන්ධ රූප, දිවට ගෝචරවන රස රූප, කයට ගෝචරවන ස්පර්ෂයන්, ඉෂ්ටයි කාන්තයි මනාපයි යනාදී සිතුවිලි පහල කිරීම තුළින් කාමයන් ඇතිවෙයි. කිසිදු බාහිර රූපයක කාමයන් නොමැත. කාමයන් ඇත්තේ සිතේය. බාහිර වස්තූන් වල කාමය ඇත්නම්, එම දේවල් කෙරෙහි සෑම දෙනාටම රාගයක් ඇතිවිය යුතුය. නමුත් එසේ වන්නේ නැත. එක් අයෙකුට රාගයක් ඇතිවන දේකට, තවත් අයෙක් අකමැති විය හැකිය. කෑම මේසයක එක එක කෑම වර්ග බොහොමයක් තිබුණද, එක් එක් අය කැමැත්තෙන් ඇලෙන්නේ වෙනත් වෙනත් කෑම ජාති වලටය.
එනම් පුද්ගලයාගේ කාමයන් වන්නේ සිතේ පවතින සංකප්පයට ඇති රාගයයි. බුදුපියාණන් වහන්සේ “සංකප්ප රාගේ පුරිසස්ස කාමෝ - පුද්ගලයාගේ කාමය වන්නේ සංකප්ප රාගයයි ලෙස අඞගුත්තර නිකායේ නිබ්බේධික සූත්‍රයේ දේශනා කර ඇත. යම් රූපයක් ස්පර්ෂ වුවිට, තමන්ගේ ඇතුළත ඇති දෙයක් රාගය ලෙස ඇවිස්සිලා මතු වේ. හරියට අළු දූවිලි සහිත පිළිස්සුන ගිනි ගොඩකට ගල් කැටයකින් ගැසුවොත්, එම අළු දූවිලි ඇවිස්සෙන්නාක් මෙනි. ස්පර්ෂ වන විට එය “මගේ වේවා! යැයි පතන අභිජ්ඣාව නිසා එම කාමයට කැමැත්ත ඇති වී කාමච්ඡන්දය ඇතිවේ.
“අනිච්චා භික්ඛවෙ, කාමා තුච්ඡා මෝස ධම්මා. මායාකතමේතං භික්ඛවේ, බාලලාපනං. යේ ච දිට්ඨධම්මිකා කාමා, යේ ච සම්පරායිකා කාමා, යා ච දිට්ඨධම්මිකා කාමසඤ්ඤා, යාච සම්පරායිකා කාම සඤ්ඤා උභයමේතං මාරධ්‍යෙං, මාරස්සේසවිසයෝ, මාරස්සේසනිවාපෝ, මාරස්සේසගෝචරෝ. එත්ථේතෙ පාපකා අකුසලා මානසා අභිජ්ඣාපි බ්‍යාපාදාපි සාරම්භාපි සංවත්තන්ති.
මහණෙනි, කාමයෝ අනිත්‍යයි (ඇතිවෙලා නැතිවෙලා යන්නකි), තුච්ඡා (හිස් දෙයකි), මෝස ධම්මා (නිර්වාණය හැර අන් සියල්ල මුසාවන්ය). මායාකතමේතං (මායාවකින් කරවන ලද්දකි), බාලලාපනං (බාලයාගේ වචනය නිසා ඇතිවන්නකි). දැන් සහ පසුව ඇතිවන කාමයන් සහ කාම සංඥා මාරයාගේ දෙයකි, මාරයාගේ විෂයයි, මාරයාගේ කොටුවයි, මාරයාට ගෝචර වේ. මෙම කාමයන් නිසා “මගේ වේවා යි කියන අභිධ්‍යාව ද, “අනුන් නැසේවා යි කියන ව්‍යාපාදය ද, “එකට එක කිරීම යි කියන සාරම්භය නැමති කෙලෙසයන් ඇතිවේ.
කාමයන් ඇතිවන්නේ යම් රූපයක් ස්පර්ශ වූ විට එය සුභ වශයෙන් ගෙන, ඊට නිත්‍යබවක්  ඇතිකර සුඛ වශයෙන් මගේ කියා ගැනීමෙනි. ඇත්තෙන්ම එහි ඇත්තේ අසුභ, අනිත්‍ය, දුක්ඛ, මගෙ නොවන ස්වභාවයකි. නිර්වාණය හැර අන් සියල්ලම නැසෙන හෙයින් මෝස ධර්මයන් වේ. යම් සත්‍යක් ඇත්නම් එය නිවන පමණි. කාමයන් මායාවකි. මායාවකින් සිදුවන්නේ නැති දෙයක් ඇති බවට පෙන්වමින් මුලා කිරීමයි. මැජික් පෙන්වන අය කරන ඇස් බැන්දුම් වැනිය. සාමාන්‍ය අයෙක් යම් කඩදාසියක ජනප්‍රිය නිළියකගේ පිංතූරයක් දුටුවිට මේ අසවලා, ලස්සනයි යනාදී වශයෙන් රාගා දී කෙලෙස් ඇතිකර ගනී. නමුත් එතන එවැනි කෙනෙක් නැත. එය මායාවකි. නිකම්ම කඩදාසියක් සහ තීන්ත ගොඩකි. කඩදාසියට සහ තීන්ත වලට එතනදී කාමය ආවේ නැත. කාමය ආවේ තමන් ඇතුලෙන් මතුවූ නිළිය නැමති කාම සංඥා වලටය. එමෙන්ම බාලයාගේ වචන නිසා කාමයන් ඇති වේ. මෙම ආත්මෙ දී කාමයන් පිළිබ නොදන්නා කුඩා දරුවෙකුට, වැඩිහිටියෙකු යම් කාමයක් ගැන ප්‍රකාශ කලවිට, ඊට පසු එම දරුවා ඒවා පිළිබ අවධානය යොමු කරන්නේ මේ නිසාය.
යම් අයෙක් කාමයන් ඇතිකර දියුණුබවට පත්කර ගනීද, ඔහුට සංසාරයෙන් අතමිදිය නොහැක. ඊට හේතු වන්නේ කාමය යනු මාරයාගේ දෙයකි. මාරයාගේ විෂයයි. වැද්දෙකු විසින් දඩයම් සහා සිටුවන ලද තණකොළ පිට්ටනියක තණ කෑමට යන මුවන් උගුල් ගසා අල්ලා ගන්නාක් මෙන්, කාමයට නැමුණ සිත මාරයාට අසුවේ. යම් අයෙකුට සද්ධර්මය අසා නිවන් දකින්න අවශ්‍යතාව ඇති වුනත්, තමන්ගේ අභ්‍යන්තර කාමයන් ප්‍රභල වී ඊට ඉඩ නොලැබේ.
කාමයන් හරියට මස් කට්ටක් වැනිය. මස් කඩයක් ලට යන කුසගින්නේ ඉන්න සුනකයකුට සම්පුර්ණයෙන් ම මස් ඉවත් කරන ලද මස් කට්ටක් දුන්නොත්, ඌ රසවත් ආහාරයක් ලැබුණා සේ සලකා එම මස් කට්ට කයි. එවිට ඌට රස ලෙස එන්නේ උගේම කට තුවාල වී පිටවුන ලේ රසය. තමන්ගේම ලේ රසය කොතරම් කැවුනත් කුස නොපිරේ. එම සුනකයා මස් කට්ට සැපීමෙන් මහත් වෙහෙසකටත්, පීඩාවකටත් පත්වේ. මිනිසුන්ද කාමයන් පරිහරණය කරනුයේ එම සුනකයා මස් කට්ට කන ආකාරයෙනි. එසේ කිරීමෙන් මහත් දුකකට පත් වන්නේය. රසයි රසයි කියා කන්නේ දුකක් මය.
එමෙන්ම කාමයන් මස් වැදැල්ලක් වැනිය. ගිජුළිහිණියෙකු තමන්ගේ පාදවල ඇති නියපොතු වලින් දැඩිව ග්‍රහණය කරගෙන මස් කුට්ටියක් රැගෙන යන්නේ නම්, උකුස්සන්, කපුටන් වැනි සතුන් එම සතා වටකරගෙන කොටයි. එම මස් වැදැල්ල අත නොහැරියොත් ගිජුළිහිණියා මහත් දුකකට පත් වේ. සාමන්‍ය මිනිසුන් ද කාමයන් ගිජුළිහිණියෙකු මෙන් අල්ලාගෙන සිටී. ගේ දොර ඉඩකඩම්, යාන වාහන, අඹු දරුවන් ආදිය ඇලීමෙන් අල්ලාගෙන සිටින නිසා, මහත් දුකකට පත්වේ. මේවා තමන්ගේ නොවන බව අවබෝධ කරගෙන සිතින් අතහැරියහොත් දුකින් අතමිදිය හැකිය. හරියට ගිජුළිහිණියා මස් වැදැල්ල අතහරිනවාක් වැනිය. එවිට තමන්ට කොටන්නට උකුස්සන් කපුටන් නොමැත.
තවද කාමයන් සුල එන දිශාවට රැගෙන යන පන්දමක් වැනිය. පත්තුකරගත් හුලුඅත්තක් හෝ පන්දමක් ඉදිරියෙන් අල්ලාගෙන සුල එන දිශාවට ගියොත්, ගින්දර තමන් දෙසට ඇවිත් තමන්ව පිළිස්සෙයි. එසේ හෙයින් මහත් දුකකට පත්වේ. මිනිසුන් චතුරාර්යය සත්‍යයට පිටුපාමින්, මුසාව තුළ ගමන්කරන නිසා සෑම විටම සත්‍යය මතුවී පිළිස්සෙයි. මිනිසුන් බොරු කියමින් සසරේ ගමන් කරයි. අසුභ දේ සුභ ලෙසත්, දුක් දේ සැප ලෙසත්, තමන්ගේ නොවන දේ තමන්ගේ ලෙසත්, අනිත්‍ය දේ නිත්‍ය ලෙසත් බොරු කියමින් ජීවන පැවැත්ම ගතකරන විට, සෑමවිට ම සත්‍යට මූණ දීමට සිදුවේ. බොරුව ම සත්‍ය කරගත් නිසා මහත් දුකකට පත්වේ. සත්‍ය සත්‍ය ලෙසත්, මුසාව මුසාව ලෙසත් පිළිගෙන කටයුතු කළොත් දුකින් අතමිදිය හැකිය.
එමෙන්ම කාමයන් ගිනි අුරු වළක් වැනිය. මැරෙන්න අකමැති අයෙක්, වෙනත් ශක්තිමත් පුරුෂයන් දෙදෙනෙක් ගිනි අුරු වලකට ඇදෙගෙන ගොස් දමන්නේ නම්, එම පුද්ගලයා පිච්චී මහත් දුකකට පත්වේ. තමන්ගේ කාමයන් පිළිබ ඇතිවන චේතනාවන්ට තණ්හා කිරීමෙන් තමන් ගිනි අුරු වලට වැටී දුකට පත් වන්නාක් මෙන්, මහත් දුකකට පත්වේ. තමන්ව ගිනි අුරු වලට රැගෙන යන ශක්තිමත් පුරුෂයන් දෙදෙනා වනුයේ තමන්ගේ චේතනාව සහ තණ්හාවයි.
තවද කාමයන් සිහිනයක් වැනිය. කෙනෙක් රමණීය වූ මනස්කාන්ත වූ පරිසරයක ඇති පුද්ගලයන් සහිත නගරයක් රාත්‍රී නින්දේ දී දකී. නමුත් ඔහු අවදි වූවිට එසේ දැකපු කිසිවක් නොමැත. කාමලෝකය පතාගෙන ඉපදෙන මිනිසුන්ට වයසට යාම, ලෙඩවීම, සොක, පරිදේව යනාදී දුක් සියල්ලට මූණ දීමට සිදුවේ. පෙර භවයේ කාම ලෝකය ඉතා හොදයි මැනවයි, කියා සිතා මේ භවයේ ඉපදුනත්, උරුමවූයේ දුකමය. සිතූ කිසිවක් එතන නැත. සිහිනයක් පමණි. වර්තමානයේ හොදයි මැනවයි කියා අත්පත් කරගත් ඉඩකඩම්, යානවාහන, අඹුදරුවන් අත්පත් වූ දා පටන් ඇත්තේ දුකකි. මෙය ඉතා සුක්ෂමව සිතා බැලිය යුතු කරුණකි.
එමෙන්ම කාමයන් ඉල්ලාගත් වස්තුවක් වැනිය. යම් අයෙක් අනුන්ගෙන් ඉල්ලාගත් වාහනයකින්, අනුන්ගේ ආභරණ ඇදුම් ආදිය ඇද පැළදගෙන සාදයකට යන්නේනම්, අන් අය ඔහු හෝ ඇය දෙස බලනුයේ මහත් වස්තු සම්භාරයක් ඇති අය ලෙසයි. නමුත් සැබෑ අයිතිකරු ඇවිත් ඒ සියල්ල තමන්ගේ කියා ප්‍රකාශ කර නැවත ගතහොත්, ඔහු හෝ ඇය මහත් දුකකට පත් වේ. අප සෑම දෙනෙක්ම පරිහරණය කරනුයේ අනුන්ගෙන් ඉල්ලාගත් දේවල්ය. තමන්ගේ කය පවා ස්වභාව ධර්මයේ දෙයකි. ස්වභාව ධර්මයට අවශ්‍ය වූ වෙලාවට ඒවා ආපසු ගනී. ඉල්ලාගත් බව අමතක වී තමන්ගේ කරගත් නිසා තමන්ට මහත් දුකකට පත්වන්නට සිදුවේ.  කෙනෙක් මහ පොළවෙන් කොටසක් වැටක් ගසාගෙන මගේ කියා අත්පත් කරගෙන සිටී. නාය යාමකින්, ගංවතුරකින්, ගිලා බැසීමකින් එම පොළවට හානි වුවහොත්, මගේ කියාගත්ත කෙනාට මහත් දුකකට පත්වන්නට සිදුවනවා නොඅනුමානය. කොයි මොහොතේ හෝ අයිතිකරු ඉල්ලන බැවින් එම වස්තූන් නිවන සහා නොඇලී පරිහරණය කිරීමෙන් දුක නිවාගත හැකිය.
තවද කාමයන් ඵල පිරුණ පළතුරු ගසක් වැනිය. එහි ගෙඩි බිමට වැටී නොමැතිනම්, ගසට නැග පළතුරු කෑමට සිදුවේ. යම් පුරුෂයෙක් ගසට නැග පළතුරු කන විට, ගසට නගින්න බැරි අයෙක් පළතුරු කෑම සහා එම ගස කපන්නේ නම්, ගසේ සිටන පුද්ගලයා බැස නොගියහොත්, ඔහු වැටී, අතපය කැඩී මහත් දුකකට පීඩාවකට පත් වේ. අප ද ජාතිය නැමති ගෙය (පළතුරු ගස) හදාගෙන රිසි සේ පළතුරු කමින් ජීවත් වන්නට යනවිට, වයසට යාම, ලෙඩවීම නැමති සතුරන් ඇවිත් පහර දී ගස බිම හෙළයි. එබැවින් ඉක්මනින්ම ගසෙන් බැසගැනීම වඩා ප්‍රඥාගොචර වේ.
මේ අනුව කාමයන්ගෙන්  ඉවත්වී, ප්‍රඥාව දියුණුකරගෙන ලෝකෝත්තර නිවනින් සැනසීමට අධිෂ්ඨාන කරමු.

පූජ්‍ය මැල්සිරිපුර ධම්මකුසල හිමි


අර්ය නිකේතනය
කන්නිමහර වතුරුගම.



සම්මුති මුසාව සහ ආර්ය මුසාව

සාමාන්‍ය ජීවිතයේ දී මුසාවාදය ලෙස සලකනුයේ තමන්ට යම් දෙයක් හෝ කෙනෙක් අත්පත් කරගැනීමට, තමන්ගේ සහ තමන්ගේ කුලයේ ගෞරවය ආරක්ෂා කරගැනීමට, තව කෙනෙකුට නින්දා අපහාස කිරීමට, තව අයෙකුගෙන් පලිගැනීමට, තමන් රැස්කරගත් හෝ ගොඩනගාගත් දේ ආරක්ෂා කිරීමට, තව අයෙකු රැවටීමට, තව අයෙකුට සමච්චල් කිරීමට, උසුළු විසුළු කරමින් සිනහා ගැන්වීම් ආදිය සදහා  සිදුකරන්නා වූ  අසත්‍ය ප්‍රකාශයන් ය.
සමහරු තමන්ට නැති සම්පත් දේපල ආදිය ඇතැයි කියා බොරු කියයි. සමහරු තමන්ට ඇති සම්පත් නැතැයි කියා බොරු කියයි. සමහරු සමත් නොවූ විභාග සමත් වූවා යැයි බොරු කියයි. සමහරු හොරකම් වංචා ආදී වැරදි වැඩ කර ඒවා නොකල බවට බොරු කියයි. සමහරු තමන්ගේ කුලය, බලය, වයස යනා දි දේ ගැන බොරු කියයි. මේවා සම්මුතිය තුළ සිදුකරන මුසාවන්ය. බුදුපියාණන් වහන්සේ විහිළුවකටවත් බොරුවක් නොකියන ලෙස දේශනා කර ඇත.
අප මහ බෝසතාණන් වහන්සේ නියත විවරණ ලැබීමෙන් පසු කිසිවිටක බොරුවක් කියා නැත. එක් ආත්මයක බෝධි සත්වයන් වහන්සේ පංච අභිඥා සහ අෂ්ඨ සමාපත්ති සහිතව හරිත්තච නම් තාපසයෙක් වශයෙන් සිටින අවස්ථාවේ බරණැස් රජුගේ ආරාධනයෙන් රාජ උයනේ වස් වසන ලදි. දිනක් අහසින් රාජ මළිගයට පිණ්ඩපාත වඩින තාපසයාට වස්ත්‍ර ඉවත් වූ රාජ දේවිය දැක යටපත් වූ කාමරාගය ඉස්මතු වී දේවිය සමග කාමයේ හැසිරිනි. එතැන් පටන් දිගටම මෙම ක්‍රියාවලිය සිදුවිය. සටනක නිරත වන රජතුමාට මේ බව සැලවිය. නමුත් විශ්වාස නොකළේය. නැවත රාජධානියට පැමිණ දේවියගෙන් සහ හරිත්තච තාපසයාගෙන් මේ බව විමසන විට ලැබුනේ එකම පිළිතුරකි. එනම් “එසේ සිදුවිය යන සත්‍යයයි. නුවණැති රජතුමා සත්‍ය දැනගත් බැවින් හරිත්තච තාපසයා කෙරෙහි නො කිපිණ. පසුව නැවත ධ්‍යාන වඩා තාපසයා වනගත විය. එනම් ගෞතම බුදුපියාණන් වහන්සේ තමා බෝධි සත්වයන් වශයෙන් සිටියදී පවා කොතරම් සත්‍යට ගරුකර ඇත්දැයි යන්න මෙම කථාවස්තුවෙන් ප්‍රකට වේ.
යම් අයෙක් ලෝකයේ පවතින දේවල් මගේ කරගෙන උපාදානය කරගෙන ඇත්නම් ඔහුට හෝ ඇයට බොරු කීමට සිදුවේ. මන්ද ලෝකයේ පවතින දේවල් නිත්‍යයි, සුඛයි, ආත්මයි කියා ගත් නිසාවෙනි. නමුත් ලෝකයේ යථාර්ථය හෙවත් සත්‍ය  අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලෙස ගත් කෙනාට ලෝකයේ රැස්කර ගැනීමට දෙයක් නොමැත. ඔහු හෝ ඇය කරනුයේ මගේ කරගත් ලෝකය අතහැරීමයි. එනම් යමක් මගේ කරගත්ත කෙනාට බොරු කියන්න සිදුවෙනවා. ලෝකයේ කිසිවක් තමන්ට අයිති නොවේ. ස්වභාව ධර්මයේ ක්‍රියාවලියක් කිසිසේත් ම මගේ කරගත නොහැක.
ලෝකය තුළ සැප සොයන පුද්ගලයා මුසාවන් හතරක් තුළ නිරත වෙමින් රැස්කිරීම සිදුකරයි. ඒවා ආර්ය මුසාවන්ය. මේවා සම්මුතිය තුළ මුසාවන් ලෙස නොගනී. මෙම වැරදි වැටහීම් තුළින් මුසාවන් සිදුකරනුයේ විපරීත සිතකිනි. එබැවින් ඒවා විපල්ලාස ලෙස ද සැලකේ. මෙම විපරීත සිතින් ඇතිකරගන්නා මුසාවන් තුළ සංඥාවක්, විත්තයක්, සහ දෘෂ්ඨියක් පවතී. යම් කිසි අයෙකු රහත්වන තුරාවටම මෙම මුසාවන් සිදුකරයි. 

      අසුභ දේ සුභයි කියන මුසාව - අසුභෙ සුභන්ති විපල්ලාසො
අප කන බොන ආහාරයත් එම ආහාරයෙන් සෑදුන ශරීරයත් කබලිංකාර ආහාරය ලෙස හදුන්වයි. මනවඩනා රූපය ලෙස සලකන්නේ ද කබලිංකාර ආහාරයයි. පළමු මුසාව වන්නේ එම අසූචිවලින් පිරුණ කයත්, කාලා අසූචි පිටකරන කන බොන ආහාරයත්, හොදයි, ලස්සනයි, මැනවයි, අත්පත් කරගන්න ඇත්නම් හොදයි, යනාදි වශයෙන් අසුභ දෙය සුභ වශයෙන් ප්‍රකාශ කිරීමයි.
මෙසේ අසුභ දේ සුභ වශයෙන් ගැනීමෙන් කාමයන් දැඩිව අල්වාගැනීම හෙවත් කාම උපාදානය ඇති වේ. එම උපාදානය වූ කාමයන් වල යෙදීමෙන් සසරට ගැටගැසීමක් හෙවත් කාම යෝගය ඇති වේ. එසේ ගැටගැසුන දේ එකතුවීම දැඩි ලෝභයේ ගැටගැසීම හෙවත්  අභිජ්ඣාකායගන්ථො ලෙස හැදින්වේ. මෙසේ පොතක් මෙන් ගැටගැසුන කාමයන්ගේ පල්වීමක් හෙවත් කාම ආශ්‍රවයන් ඇති වී කාම සැඩපහරට හෙවත් කාම ඕඝයට හසුවේ. ඒතුළින් රාගය නැමති හුල හෙවත් රාග සල්ලය ක්‍රියාත්මක වී විඤ්ඤාණය රූපයේ බැසගනී (රූපූපගං විඤ්ඤාණං තිට්ඨති). එම හේතුවෙන් අසූචි ගොඩක් අත්පත් කර ගැනීමේ කැමැත්තෙන් අගති ගමනක් හෙවත් ඡන්දයෙන් අගති ගමනක් ගොස් නැවත නැවත දුක හදාගෙන ගමන් කරයි.

          දුක් දේ සැපයි කියන මුසාව - දුක්ඛෙ සුකන්ති විපල්ලාසො
ජීවිත පැවැත්මේ ඇත්තේ දුක් ගොඩකි. ජාති, ජරා ව්‍යාධි මරණ සියල්ල දුකකි. ගෙදරදොර වැඩකයුතු, රාජකාරී වැඩකයුතු, අධ්‍යාපන කටයුතු, ගොවිතැන් කටයුතු, යුතුකම් වගකීම් මේ සියල්ල මහ දුකකි. අනික් කෙනා අභිබවා මෙම දුක, සැප ලෙස සෙවීමට උදේ සිටන් රෑ වෙනකම් රෑ සිටන් එලිවෙනකම් මහා උපායාසයක යෙදෙයි. නමුත් මේ සියල්ල තමා සැපයි කියා ගනීයි. එනම් දුක් දේ සැපයි කියා ගැනීම දෙවන බොරුවයි.
තමන්ගේ ජීවන පැවැත්මේ නිතරම ස්පර්ෂ වන දුක සැපක් ලෙස ගැනීම සදහා විවිධ සීල-ව්‍රත ආදියෙහි ඇලී සිටියි. මෙහි දී අනාගත භවය දැඩිව ගැනීම තුළින්  සීලබ්බත උපාදානය ඇතිවේ. අනාගතයේ වෛද්‍යවරයා වීම සදහා කෙනෙකු දැඩි ලෙස පාඩම් කරන්නේ ද මෙම උපාදානය හේතුවෙනි. මෙසේ භවය පැවැත්විය හැකි යැයි කල්පනා කිරීම භව යෝගය යි. මෙහි දී අපේක්ෂා කරන සැපය නොව සත්‍ය වශ‍යෙන් ම ස්පර්ෂ වන්නේ දුක බව දැනෙනවාත් සමග ම ව්‍යාපාදයෙහි ගැටගැසේ. මෙය බ්‍යාපාදකායගන්ථො ලෙස හැදින්වේ. මෙලෙස භවය පැවැත්වීමේ දී භව ආශ්‍රවය ඇති වී භවය නැමති සැඩපහරට හෙවත් භව ඕඝයට හසුවේ. මෙහිදී දුක දේ සැප ලෙස ස්පර්ෂ වන නිසා ද්වේෂ හුලක් හෙවත් ද්වේෂ සල්ලය තමන්ට එල්ල වේ. මෙහි දී පෙර වේදනාව නැවත පතයි. එහි දී විඤ්ඤාණය වේදනාව තුළ බැසගනී (වෙදනූපගං විඤ්ඤාණං තිට්ඨති). දුක්ඛය ම ස්පර්ෂ වන නිසා තමන් ද්වේශයෙන් අගති ගමනක් යෑම සිදුවේ.

      මම නොවන දේ මගේ යැයි ගැනීමේ මුසාව - අනත්තනි අත්තාති විපල්ලාසො  
මගේ කය, මගේ ස්වාමියා, මගේ බිරිද, මගේ දරුවන්, මාගේ දේපල, මගේ වාහනය, මගේ රැකියාව ලෙස සියල්ල මගේ කියා ගත්ත ද ඒවා මගේ නොවන දේවල්ය. එසේ මගේ නොවන දේ මගේ කියා ගැනීම තෙවන බොරුවයි.
ඇස, කණ ආදී ඉන්ද්‍රියන්ට ස්පර්ෂ වන රූප සහ ඒ තුළින් හටගන්නා වේදනා නැවත නැවත ස්පර්ෂ කරමින් මගෙ නොවන දේ මගේ වශයෙන් දෘෂ්ඨිගත වී දිට්ඨි උපාදානය සිදු වේ. එම දෘෂ්ඨියෙහි ම නැවත නැවත යෙදීම නිසා දිට්ඨි යොගය ඇති වේ. මෙසේ මගේ නොවන දේ මගේ ලෙස වරදවා වටහා ගැනීම නිසා ත් එම සංස්කාරයන් වලට ඇලීම නිසා ත් එම දෘෂ්ඨියෙහි ගැට ගැසීමක් තුළින් පරාමාසකායගන්ථො වේ. එබැවින් එම දෘෂ්ඨිය තුළ පල්වීමක් හෙවත් දෘෂ්ඨි ආශ්‍රවය ඇති වී දිට්ඨියේ සැඩපහරට හෙවත් දෘෂ්ඨි ඕඝයට හසු වේ. දැන් මගෙ නොවන දේ මගේ යැයි වන දෘෂ්ඨි හුලක් හෙවත් ඊතලයක් තමන්ට වදී. එය දිට්ඨි සල්ලයයි. එහි දී විඤ්ඤාණය සංඥාවෙන් සාදන චේතනා අල්ලාගෙන (සඤ්ඤූපගං විඤ්ඤාණං තිට්ඨති)  කැමැත්තෙන් සාදාගත් චිත්ත සංඛාර බිදෙයි යැයි බියකින් අගතිගමනක් (භයා අගතිගමනං) යයි.

      අනිත්‍ය දේ නිත්‍යයි ලෙස ප්‍රකාශකරන බොරුව - අනිච්චෙ නිච්චන්ති විපල්ලාසො
ගේදොර ඉඩකඩම්, තමන්ගේ කය ඒවගේම සිත ආදී සෑම දේම වෙනස් වේ. එනම් ඇතිවෙමින් නැතිවෙමින් ප්‍රවර්ථනය වේ. නමුත් තමන් තමන් මේවා වෙනස්වන දේවල් වෙනස්නොවන ලෙස අල්ලා ගනී. එනම් අනිත්‍ය දේ නිත්‍යයි ලෙස ගැනීම සිවිවන බොරුවයි.
මෙසේ වෙනස්වන දේ මගේ යැයි දෘෂ්ඨිගත වීම නිසා අත්තවාද උපාදානය ඇති වේ. මෙම සත්‍ය නොදන්නා නිසා අවිද්‍යාව තුළ යෙදෙයි. එය අවිජ්ජා යෝගය යි. අසත්‍ය දේ සත්‍ය වශයෙන්ම ගැටගැසීම නිසා ඉදංසච්චාභිනිවෙසො කායගන්ථො වෙයි. ඒ තුළින් ඇතිවන පල්වීම හේතුවෙන් අවිද්‍යා ආශ්‍රවය ඇතිවේ. එම නිසා අවිද්‍යා සැඩ පහරට හසු වී ගසාගෙන යයි. එය අවිද්‍යා ඕඝයයි. මෙම අවිද්‍යාව නිසා අනිත්‍ය දෙයක් නිත්‍ය වශයෙන් මුලාව නැමති හුලක් හෙවත් මෝහ සල්ලයක් තමන්ට වදී. එහිදී සංස්කාර අල්ලාගෙන විඤ්ඤාණය පවතින අතර(සඞඛාරූපගං විඤ්ඤාණං තිට්ඨති) ඒ තුළින් මෝහයෙන් අගති ගමනක්(මොහා අගතිගමනං)යයි.
මෙලෙස සිදුකරන සම්මුති මුසාවෙන් වෙන්ව එමෙන්ම ආර්ය මුසාවෙන් ද වෙන්ව සිට පිරිණිවෙන රහතන් වහන්සේ නමක් බවට පත්වීමට අධිෂ්ඨානයෙන් ඉදිරියට යාමට සත්‍ය අවබෝධකර ගනිමු.

පූජ්‍ය මැල්සිරිපුර ධම්මකුසල හිමි
ආර්ය නිකේතනය
කන්නිමහර-වතුරුගම.